ජාතියේ අකරුණාවට ලක් වූ මුත්තුසාමි මාස්ටර්ට නිසි අගැයුම ලබා දෙමු..!
-මුත්තුසාමි ගී ප්‍රසංගයක් 25 වන දා නොමිලේ.!
(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.23, ප.ව.8.30) එක් දහස් නවසිය අසූව දශකයේ ජනප්‍රිය සිනමා පුවත් පතක් වූ "සරසි" පත්‍රයට ජනකාන්ත සිනමා නළු විජය කුමාරතුංග වරක් මෙසේ කීය. "මේ පටු ජාතිවාදය කියන්නේ මොන තරම් බිහිසුණු දෙයක් ද කියනවා නම් "සිරි පතුල" චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු කේ.වෙන්කට් වත් එතුමාගේ ජාතිය ජන්මය හින්දා අමු අමුවේ මරා දැම්මා. ඒ වගේම අපේ සිංහල සිනමාවට අමතක නොවෙන මෙහෙවරක් කරපු අපේ විශිෂ්ඨතම මෙහෙයක් කරපු අපේ මුත්තුසාමි මාස්ටර්ව අද අසරණ කරලා. මේක කොහොමවත් නොවිය යුතු දෙයක්. මම මගේ මීළඟ චිත්‍රපටිය "සමාව" චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණයට තෝරා ගත්තේ "මුත්තු සාමි මාස්ටර්ව" පටු ජාතිවාදය මුළුමනින් පිළිකෙව් කළ විජය කුමාරතුංගයන් එදා කී කතාව අදට ද එලෙසම වලංගු ය.
රාමයියා මුත්තුසාමි නාමය සහ අපේ ජාතික දුර්ගුණය..
සුවිශිෂ්ඨතම කලා කුශලතාවයන් සම්භාරයක් උපතින් දායාද කර ගත් සේම එය ජාතියට තිළිණ කළ සම්භාවනීය කලකරු පරපුරක් අපට සිටිති. නමුත් ඒ අතරට අනිවාර්යෙන් ගැනුණ ද ඒ සඳහා ප්‍රමාණවත් අගැයුමකට පාත්‍ර නොවූ විශිෂ්ඨතම කලා කරුවන් අතලොස්ස අතුරින් ද මුල් තැනක් හිමි කර ගන්නා නාමයක් තිබේ නම් ආර්. මුත්තුසාමි නාමයයි. ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ මෙහි ජීවත් වූ ද්‍රවිඩ ජන්මයක් සහිත කලා කරුවකු වීම ඊට හේතුව විට යුතුය. එහෙත් එය අපගේ ජාතික දුර්ගුණයක් බව නොකියාම බැරි ය. මුත්තුසාමි යනුවෙන් කවුරුත් දැන හඳුනා ගෙන සිටියද ඔහුගේ සැබෑ නම රාමයියා මුත්තුස්වාමි ය. එතුමාට කරන ගෞරවයක් ලෙසින් සෙසු බොහෝ කලා ශිල්පීන් සේම රසිකයන් ද එතුමා හැඳින්වූ නාමය වූයේ මුත්තුසාමි මාස්ටර් ය.
සම්භාව්‍ය සංගීත පරපුරකින්...
1928 ජනවාරි 05 දින ඉන්දියාවේ නාගර්කෝවිල් හි උපත ලද මෙතුමා ගේ පියා රාමයියා භගවනාර් ය. මව තංගම්මා නම් විය. ඔවුහු ඉන්දියාවේ සම්භාව්‍ය සංගීතමය ගුරු කුලයකට අයත් වූහ. එනිසා මෙලොව එළිය දුටු දා සිටම මුත්තුසාමි මාස්ටර්ට සංගීතය යනු ලේ උරුමයකි.
ඔහුගේ සංගීතමය හැකියාව කොතෙක් වී ද යත් වයස අවුරුදු දාහත පමණ වන විට එවකට ඉන්දියාවේ හින්දි චිත්‍රපට රැසකම සංගීතය සැපයූ අති දක්ෂ සංගීතඥයෙකු ව සිටි සී. රාමචන්ද්‍ර මහතාගේ වාදක මණ්ඩලයට වයිලීන වාදකයකු ලෙස එක්වීමට ඔහුට අවස්ථාව ලැබී තිබිණි.
එස්.එම්. නායගම්ට හමු වූ තරුණ වයලීන වාදකයා..
මුත්තුසාමි මාස්ටර් ගේ ජීවිතයෙහි සුවිශේෂ මංසන්ධියක් වුයේ එස්. එම්. නායගම් මහතා ඉන්දියාවේ දී මුණ ගැසීමයි. එස්. එම්. නායගම් ශ්‍රී ලංකාවේ එවකට සිටි චිත්‍රපට නිෂ්පාදකයෙකි. අපේ රටේ මුල්ම චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුවෙහි නිෂ්පාදකවරයා වූයේ ද ඔහු ය.
මුත්තුස්වාමි තරුණයා වයලීනය සිය ග්‍රහණයට නතු කරගෙන එය හසුරවන විලාසයෙන්ම මේ තරුණයා කෙදිනක හෝ අති දක්ෂ සංගීතඥයකු වන බව නායගම් මහතා වටහා ගන්නට ඇතුවා නිසැක ය. ඔහු මෙම තරුණයා ලංකාවට කැඳවා ගෙන ආවේය.
එවකට නායගම් මහතා ඔහුගේ අලුත්ම නිෂ්පාදනය වූ " බණ්ඩා නගරයට පැමිණීම" චිත්‍රපටයේ වැඩ කටයුතු සිදු කරමින් සිටි අවදිය යි. එහි සංගීතය අධ්‍යක්ෂණය කළේ නාරායන් අයියර් නැමති එවකට සිටි දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙකි. එතුමා යටතේ "බණ්ඩා නගරයට පැමිණීම" චිත්‍රපටයෙහි සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට මුත්තුස්වාමි තරුණ සංගීත ශිල්පියාට අවස්ථාව සලසා දුන්නේ නායගම් මහතා ය.
පළමු ජාත්‍යන්තර සම්මානය ගෙනා "ප්‍රේම තරඟය"..
ඉන්පසු 1953 වසරේ දී "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ සංගීතය මෙහෙයවමින් මුත්තුසාමි මාස්ටර් සිය සංගීත දිවියෙහි නව මාවතක් විවර කර ගැනීමට සමත් විය. මෙම චිත්‍රපටයෙහි සංගීතයේ තිබූ මිහිරියාව නිසාම ඔහුට ඉන්දියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සම්මානයක් පිරිනමනු ලැබිණි. එය ලංකාවේ චිත්‍රපටියකට ලැබුණු පළමු ජාත්‍යන්තර සම්මානය යි. සම්මානය හිමි කර ගත්තේ මුත්තුසාමි මාස්ටර් ය. නමුත් අද බොහෝ දෙනෙක් මේ ගැන නොදනිති.
අපේ රටේ මුල් යුගයේ වැඩිම චිත්‍රපට ගණනක සංගීත අධ්‍යක්ෂවරයා වීමේ භාග්‍යය මුත්තුසාමි මාස්ටර් හිමි විය.
ඒ අතරින් ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපට කිහිපයක් පමණක් මෙලෙස දක්වමු.
අහංකාර ස්ත්‍රී (1954 )
මාතලන් ( 1955 )
රම්‍යලතා (1956)
සිරියලතා ( 1957)
සොහොයුරෝ (1958)
පුරුෂ රත්නය ( 1959)
නළඟන ( 1960)
කුරුලු බැද්ද ( 1961)
දරුවා කාගෙද ( 1962)
සිකුරු තරුව ( 1963)
කළ කළ දේ පල පල දේ(1964)
සිතක මහිම ( 1964)
චණ්ඩියා (1965)
අල්ලපු ගෙදර ( 1965)
සත පනහ ( 1965)
සූර චෞරයා ( 1967 )
මින් ස්වල්පයකි.
සංදේශය චිත්‍රපටයට සුනිල් ශාන්තයන්ගේ ගී තනු මිහිරි ගීත බවට පත් කළේ මුත්තුසාමි මාස්ටර් ය. එසේම වීර වික්‍රම, සුරලොව මිහිර, පතිවත වැනි සිංහල දෙබස් කැවූ හින්දි චිත්‍රපටවලට සිංහල පිටපත සඳහා සංගීතය අධ්‍යක්ෂණය කිරීම ද එතුමා අතින් සිදුවිය. මෙලෙස මුත්තුසාමි මාස්ටර් සිංහල චිත්‍රපට පනහකට ආසන්න ප්‍රමාණයක සංගීත අධ්‍යක්ෂණය කර ඇත.
එතුමා අවසන් වරට සංගීත අධ්‍යක්ෂණය කළේ "හිතහොඳ මිනිහෙක්" චිත්‍රපටය සඳහා ය. ඒ 1975 වසරේදීයි.
විජයගේ අභාවය සමග මුත්තුසාමි මාස්ටර්ගේ අභාවය..
නමුත් තවත් සුවිශේෂ දෙයක් මෙහි සටහන් කළ යුතුය. "හිත හොඳ මිනිහෙක්" සංගීත අධ්‍යක්ෂණයෙන් පසු දීර්ඝ කාලයක් නිහඬව සිටීමට සිදු වූ මුත්තුසාමි මාස්ටර් නැවත චිත්‍රපටයකට සංගීතය අධ්‍යක්ෂණය කිරීම සඳහා සම්බන්ධ කර ගත්තේ විජය කුමාරතුංගයි. ඒ ඔහු විසින් වැඩ ආරම්භ කර තිබූ "සමාව" චිත්‍රපටයට ය. නමුත් 1988 වසරේ පෙබරවාරි 16 වෙනිදා විජය කුමාරතුංග ඝාතනයට ලක් වීම හේතුවෙන් එම චිත්‍රපටයේ වැඩ කටයුතු නතර විය. ඉන් සිව් මසක් ඇවෑමෙන් එනම් එම වසරේම ජුනි 27 දා මුත්තුසාමි මාස්ටර් ද අභාවප්‍රාප්ත විණි.
දක්ෂිණ භාරතයෙහි ද මුත්තුසාමි මාස්ටර් වයලීන වාදකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. සිංහල චිත්‍රපට ගායන ක්ෂේත්‍රයට ගායක ගායිකාවන් රාශියක් හඳුන්වා දීමේ ගෞරවය එතුමාට හිමි වේ. ධර්මදාස වල්පොල, හරුන් කුමාර් ලන්ත්‍රා, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක, නන්දා මාලිනී වැනි අය මේ අතරින් කිහිප දෙනෙකි.
35 වැනි ගුණානුස්මරණය වෙනුවෙන්..
මෙලෙස මේ දක්වා ජාතියේ අකරුණාවට ලක් ව ඇති මුත්තුසාමි මාස්ටර් ගේ 35 වෙනි ගුණානුස්මරණය මෙම ජූනි මස 27 දාට යෙදෙයි. ඒ නිමිත්තෙන් එතුමාගේ ගීත ඇතුළත් සජීවී සංගීත ප්‍රසංගයක් මෙම ජූනි 25 වැනි ඉරුදින පෙරවරු 9 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී නොමිලේ පැවැත්වීමට නියමිතය.
ජාතියේ අකරුණාවට ලක් වූ මුත්තුසාමි මාස්ටර්ට නිසි අගැයුම ලබා දෙමු යන තේමාව යටතේ මෙය සංවිධානය කොට ඉදිරිපත් කරනු ලබන්නේ අපගේ පැරණි සිංහල ගීත රසික සමාජය විසිනි. එම රසික සමාජයෙහි ගායක ගායිකාවෝ ප්‍රසංගය සඳහා ගීත ගායනයෙන් සම්බන්ධ වෙති. සංගීතය සැපයීම යුද හමුදා පෙරදිග තූර්යවාදක කණ්ඩායම වෙතිනි.
-ප්‍රියන්ත ගමගේ
(පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයේ සහ පැරණි සිංහල ගීත රසික සමාජයේ නිර්මාතෘ සහ ප්‍රධාන සංවිධායක)

No comments:
Post a Comment