වසර 4 කින් පොහොර දාලා නෑ: ඵලදාව අඩුවීමට වගකිව යුත්තේ රිලව්ද? පර්යේෂන වාර්තා කෝ? පොල් සංවර්ධන මණ්ඩලයේ කුප්‍රකට සභාපතිගේ තවත් කුමන්ත්‍රණයක්ද..?
-රේණුකා දමයන්ති ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.29, ප.ව.10.40) මෙම දිනවල පොල් මිල ඉහළ නැඟීමට හේතුව මෙරට පොල් අස්වැන්නෙන් සැලකිය යුතු කොටසක් රිලවුන් විසින් විනාශ කිරීම නිසාය යන සමාජය පුරා පැතිර යන මතවාදයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව පරිසරවේදීහු කියති. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ රජය විසින් මෙරට රිලවුන් චීනයට විකිණීමට අවකාශ නොලැබීම මත රජයේ එම එම අභිලාෂය නැවත සංතෘප්ත කරනු පිණිස ඇතැම් පිරිස් එම සාවද්‍ය මතය රට පුරා පතුරුවා හරින බවකි.
සාවද්‍ය මතය රට පුරා..
මේ අතර මෙම වසරේ පොල් ඵලදාව සියයට තිහකින් අඩු විය හැකි බව පොල් පර්‌යේෂණ ආයතනය අනතුරු අඟවා තිබේ. ඊට හේතුව වශයෙන් එම ආයතනය දක්වා ඇත්තේ පොල් වගාවට නිර්දේශ කර ඇති පොහොර නිසි පරිදි නොලැබීම ය. මේ හේතුවෙන් ඉදිරි කාලයේදී වෙළෙඳපොළට පැමිණෙන පොල් අස්වැන්න අඩු විය හැකි බව පොල් පර්‌යේෂණ ආයතනය පුරෝකතනය කරයි.
2019 වර්ෂයේ පොල් සංවර්ධන මණ්ඩලයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව වාර්ෂික පොල් අවශ්‍යතාව ගෙඩි බිලියන 4.9කි. ඒ අතරින් ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව ගෙඩි බිලියන 1.8ක් වන අතර මෙරට පොල් තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පොල් ගෙඩි ප්‍රමාණය ගෙඩි බිලියන 1.8 කි. එමෙන්ම අපනයනය ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව ගෙඩි බිලියන 1.3ක් වේ.
අවසන් වරට පෝර දාලා ඇත්තේ වසර 4 කට කලින්..
නමුත් මෙරට ස්මස්ත වාර්ෂික පොල් ඵලදාව ගෙඩි බිලියන 3.1 කි. මෙම සංඛ්‍යා ලේඛන අනුව වාර්ෂික පොල් හිඟය ගෙඩි බිලියන 1.8ක් තෙක් ඉහළ නැඟ ඇත.. පසුගිය දිනක පැවැති කෝප් කමිටු රැස්වීමක දී පවා අනාවරණ වී ඇත්තේ පොල් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම්වලට පවා අවසන් වරට පොහොර යොදා ඇත්තේ මීට වසර හතකට පෙර බවකි. සාර්ථක වගාවක් පවත්වාගෙන යාමට නම් වගාව වෙත වාර්ෂිකව පොහොර යෙදිය යුතු වුවත් මෙරට බහුතරයක් පොල් වගා බිම් සඳහා අඛණ්ඩව වසර කිහිපයක සිට පොහොර යොදා නොමැති බව ද අනාවරණය වී තිබේ.
අමාත්‍යාංශය කීවාට පර්යේෂන වාර්තාවක් නෑ...
එහෙත් විශේෂයෙන් පොල් ත්‍රිකෝණය තුළ පසුගිය වසරට පමණක් පොල් ගෙඩි මිලියන 200ක් රිලවුන් විනාශ කර දමා ඇති බව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය කියයි. නමුත් ඒ සම්බන්ධ පර්යේෂණ වාර්තාව එම ආයතනය මඟින් එළි දක්වා නැත .ඒ අනුව මෙය යම් දේශපාලනික අවශ්‍යතාවක් මත සිදු කරන ලද සාවද්‍ය උපුටා දැක්වීමක් ද යන සැකය පරිසර වේදීන් තුළ මතු ව තිබේ.
පර්යේෂනයට යොදා ගත් දත්ත සහ නියැදි මොනවාද?
මේ අතර මෙම වසරේ පළමු කාර්තුව තුළ දී වන සතුන් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිලි 320 ක් ලැබී ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය පවසයි. මෙම වසරේ ගත වූ දෙවැනි කාර්තුව තුළ ද වගා හානි වාර්තා වෙමින් පවතින බවත් මෙම කාර්තුව අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන බව ද එම ආයතනය පෙන්වා දෙයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද මෙම වසරේ වනසතුන්ගෙන් සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස එම ආයතනයට දැනුම් දී තිබේ. මෙම වගා හානි අතරින් වැඩිම වගා හානියක් සිදු කර තිබෙන්නේ රිලවුන්ගෙන් බව පෙනී ගොස් ඇත. වගා හානි සිදු කරන අනෙකුත් සතුන් අතර පිළිවෙළින් වල් ඌරා, මොණරා, දඬුලේනා, ඉත්තෑවා හා වඳුරන් ද අයත් වේ. වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම පරීදි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පසුගිය වසරේ දී ගොවි ජන සේවා වසම් 464 ක වගා හානි සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කර ඇත. එම වාර්තාව අනුව ද මෙරට වගාවන්ට වැඩිපුරම හානි කරන සත්ත්වයා රිලවා බව සනාථ වී තිබේ. නමුදු පසුගිය වසරේ පොල් ත්‍රිකෝණය තුළ පොල් ගෙඩි මිලියන 200ක් රිලවුන් විනාශ කර දමා ඇති බව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි යන කරුණ ඒ සඳහා යොදා ගත් දත්ත සහ නියැදි ද සමඟ ජනතාවට ඉදිරිපත් කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීමකි.
රිලවුන්ට කලින් රට පැටවිය යුත්තේ කව්ද?
පොල් වගාව සඳහා පොහොර නිසි පරිදි නොලැබීම හේතුවෙන් ගස් සතුව පවතින රෝග හා පළිබෝධ සඳහා ඔරොත්තු දීමේ හැකියාව වේගයෙන් අව ප්‍රමාණ වන බවත් එහි බලපෑමක් ලෙස මේ වන විටත් වගා බිම් ආශ්‍රිතව රෝග පැතිර යමින් ඇති බැවින් මෙම තත්ත්වය සෘජුවම පොල් අස්වැන්න වෙත දරුණු බලපෑම් එල්ල කරන බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ. මේ සම්බන්ධව මාධ්‍ය විසින් කරන ලද විමසීමක දී පොල් පර්යේෂණ ආයතනයේ ප්‍රකාශකයකු සඳහන් කොට ඇත්තේ පොහොර නොමැතිකමින් මේ වන විට වර්ධනය බාල වී ඇති පොල් ගස් සඳහා කඩිනමින් පොහොර යෙදීම ආරම්භ කළ ද නැවත පොල් වගාව යථා තත්ත්වයට පත් වී පෙර පරිදි අස්වනු ලබා ගැනීමට නම් අවම වසර තුනක් පමණ ගත වන බවකි.මෙවන් තත්වයක් යටතේ එම යථාර්ථය යටපත් කොට ඉදිරි කාලයේ දී වෙළෙඳපොළට පැමිණෙන පොල් අස්වැන්න අඩු වීමේ වරද රිලවුන් පිට පටවා නැවත උන් චීනයට විකිණීමට රජය සූදානම් වන්නේ ද යන්න පිළිබඳව අපි සංතීක්ෂණ අවධානයෙන් පසුවෙමු. ඒ වාර්ෂික පොල් හිඟය ගෙඩි බිලියන 1.8ක් තෙක් ඉහළ නැඟීමේ වරදට රිලවුන්ට කලින් රට පැවවිය යුතු රාජ්‍ය නායක මුහුණු කිහිපයක්ම මේ වන විටත් අපේ මනැස හමුවේ මැවී පෙනෙන බැවිනි.
පසු සටහන:
මේ අතර පසුගිය ජුලි 17 දා ලංකා ඊ නිව්ස් හෙළිදරව් කළ "සෞදි අරාබියෙන් ආ රාජ්‍ය නියෝජිතයන්ට අපේ ගොබ්බ සභාපතියෙක් බැනලා..! රටට ලබා දීමට සූදානම් වූ ඩොලර් බිලියන ගණනක ව්‍යපෘතියක් දැන් අනතුරේ..! ජනාධිපතිගේ අවධානයට..! " නම් පුවතින් අනාවරණය කර තිබුනේ පොල් සංවර්ධන මණඩලයේ වත්මන් සභාපති රොෂාන් පෙරේරා නමැත්තා පසුගියදා රටේ ආන්දෝලනාත්මක සිද්ධියකට තුඩු දුන් ලංකාවේ රිලවුන් (Toque Macaque) 100,000 ක් චීනයට පැටවීමේ ව්‍යාපෘතියේ මහමොළකරු වූ බවයි. රොෂාන් පෙරේරා ගේ චීන ජාතික බිරිඳ එහි චීන භූමිකාව රඟදක්වා ඇති අතර රොෂාන් පෙරේරා ඇමැති මහින්ද අමරවීරගේ ව්‍යාපාරික සගයෙකු බවද එම පුවතින් හෙළිකර තිබිණ. මේ දක්වා කිසිවෙකු ඒ පුවත ප්‍රතික්ෂේප කර නැත. ඒ අනුව මෙරට පොල් අස්වැන්නෙන් සැලකිය යුතු කොටසක් රිලවුන් විසින් විනාශ කර ඇතැයි කියමින් පොල් සංවර්ධන මණ්ඩලය සාක්ෂි නොමැතිව ගෙන යන මතය ගැන ජනතාවට සාධාරණ සැකයක් පවතී.

No comments:
Post a Comment