Saturday, 22 July 2023

කොමිසම අළුගෝසුවා ළඟට යනවා ද, අළුගෝසුවා කොමිසමට එනවා ද...?

-ඩේලිමිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.22, ප.ව.9.05) ජනාධිපති මන්දිරයේ තිබී 2022 ජූලි 9 වැනි දින සොයා ගත් රුපියල් මිලියන 17.85 (රු. එක් කෝටි හැත්තෑ අට ලක්ෂය)  සම්බන්ධයෙන් ගෝටාබය රාජපක්ෂ හිටපු ජනාධිපතිකාරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. 

පුරවැසි බලය සංවිධානය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මීට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණේ, 2022 ජුලි 9 වැනි දින ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල අල්ලස් පනතට අදාල වරදවල් යටතට වැටෙන්නේ දැයි සොයා බැලීම සඳහාය. 

මේ අතර අරගලය ක්‍රියාකාරීන් විසින් ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල් හා සම්බන්ධ විමර්ශනවලට අදාලව ගෝටාබය රාජපක්ෂ හිටපු ජනාධිපතිකාරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දෙවැනි ප්‍රකාශයක දී කියා ඇත්තේ, ජනාධිපති කාර්යාලයේ තිබී සොයා ගත් මුදල් පොහොට්ටු පාටියට සම්බන්ධ ව්‍යාපාරිකයන් විසින් ලබා දුන් ඒවා බවත්, එම මුදල් විරෝධතාකරුවන් විසින් විනාශ කළ නිවාස වෙනුවෙන් ජනතාව අතර බෙදා දීමට නියමිත බවත්ය!

කෙසේ වෙතත්, අරගලයේ ක්‍රියාකාරීන් විසින් එම පරිශ්‍රය අත්පත් කර ගැනීමත් සමග මුල්‍ය වාර්තාවලට අදාල ලිපි ලේඛන අස්ථානගත වී ඇති බැවින්, එම මුදලට දායක වූ පුද්ගලයින්ගේ නම් හෙළි කිරීමට තමාට හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපතිකාරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබුණි.

මේ අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු කර තිබේ දැයි සොයා බැලීම සඳහා එම විමර්ශනවල උධෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බව රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

- 2023 ජුලි 19 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Lakmal Sooriyagoda ලියූ, “Bribery Commission to record statement from GR” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment