වසර 200ක් පුරා කඳුකර දෙමළ ජනයාට අහිමිකළ අයිතීන් දිනාගැනීමට කිලෝමීටර 239ක පාගමනක්.!
-විකල්ප වාර්තා කරයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.07, ප.ව.11.55) ඉන්දියාවේ සිට තෛලෙයි මන්නාරම හරහා ලංකාවේ වතුවල 'වැඩ' සඳහා ගෙන එන ලද දෙමළ ජනයා සිය දුක්මුසු, පීඩිත, අවවරප්‍රසාදිත, අයිතීන් නොමැති වසර 200 සිහි කරනු ලබන්නේ මෙම 2023 දීය. මෙම වසර 200 පුරාම එම කඳුකර දෙමළ මිනිසුන් සිය දහදිය, කඳුලු, ලේ වගුරුවා මේ ලාංකීය භුමිය පෝෂණය කළෝ ය. පෝෂණය කරමින් සිටින්නෝ ය. නමුත් මේ කාලය පුරාම එම මිනිසුන්ට සිය ජීවිතය ගෙන යාමට සිදුවූයේ 'වහලුන්' සේ අනෙක් ජනයාට සාපේක්ෂව කිසිදු අයිතිවාසිකමක් භුක්ති විඳිමින් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
"මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු 4 දි, අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ. ඒ කාලේ දලූ කැඩුවේ නැත්තං කන්කානි මහත්තයා අත දිගහරින්න කියලා අතට ගහනවා…"
ඇය නමින්, එම්.දෛවානී ය.(M.Daivanai) 1915 නොවැම්බර් 15 වෙනිදා, (ඇයට මතක ලෙස) ඉන්දියාවේ උපත ලද ඇය ශ්‍රී ලංකාව නම් දූපතේ ‘තේ‘ වගාව සාරවත් කර ගැනීම සඳහා එවක ලංකාව පාලනය කල බ්‍රිතාන්‍යන් විසින්, ඉන්දියාවේ සිට ගෙන ආවේය. ඒ ඇයට වසර අවුරුදු 4 දීය. (කියවන්න https://www.vikalpa.org/article/31127)
''මූලයන් සොයමින් අයිතීන් දිනාගැනීමට"
අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වන ඓතිහාසික පාගමන මේ වසර 200 පුරාම ලංකාවේ පාලකයන් විසින් හිතාමතාම කඳුකර දෙමළ මිනිසුන්ට හිමි අයිතිවාසිකම් ලබා දීම මගහරින ලද්දේ ඉතාමත් සාහසික, ගෝත්‍රික ආකරයකිනි. මේ සාහසිකත්වය විරුද්ධව ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා වන පා ගමන පසුගිය ජූලි 28වනදා තලෛයිමන්නාරමින් ඇරඹිණි. ''මූලයන් සොයමින් අයිතීන් දිනාගැනීමට" (வேர்களை மீட்டு உரிமை வென்றிட) යන තේමාව ඔස්සේ ඇරඹි මෙම අයිතිවාසිකම් සදහා වන පාගමන අද වන විට මිහින්තලේ ප්‍රදේශය හරහා ගමන් කරයි.
"මෙරට කඳුකරයේ වතුවල වැඩ කිරීම සඳහා මෙරටට මුලින්ම රැගෙන එන ලද කාන්තා සහ පිරිමි පුද්ගල කණ්ඩායම් පැමිණි ගමන අපි යළිත් සොයමින් සිටින්නෙමු. වසර ගණනාවක් මුළුල්ලෙහි දහස් සංඛ්‍යාත පිරිසක් මන්නාරමට ගොඩබැස එතැන් සිට මාතලේ දක්වා අනතුරුදායක ගමනක් පාගමනින් ගියහ. ඔවුහු රෝග විඳදරා ගනිමින්, කැලෑ එළිපෙහෙළි කරමින්, වනසතුන්ට නිර්භයව මුහුණදෙමින් ගමන් කළහ. බොහෝදෙනෙක්, ඇතැම් කණ්ඩායම්වල 40%කට අධික පිරිසක්, ගමන අතරමඟදී මියගිය අතර, ඔවුන්ගේ සිරුරු භූමදානය කළේය, නැතහොත් බැහැරකර දැමුවේ ය. මෙයට වසර දෙසියයකට පෙර මෙම දුෂ්කර මඟ පියමං කළ එම මුල්ම පරම්පරාව පිළිබඳ ආවර්ජනය කර, ඔවුන් සමඟ සම්බන්ධවන වන්දනා ගමනක් වූ මෙම ගමනට අප සමඟ එක්වන ලෙස අපි ඔබ සැමට ආරාධනා කරන්නෙමු." යනුවෙන් ඔවුහු සඳහන් කරති.
මෙම පාගමනේ දී ඔවුහු සිය ජීවිතය සහ යුක්තිය උදෙසා මූලික ඉල්ලීම් 11 ක් ඉදිරිපත් කරති. ඉන් එක් ඉල්ලීමක් වන්නේ, "අනෙකුත් ප්‍රධාන ප්‍රජාවන් හා සමානව වෙනමම අනන්‍යතාවක් සහිත, නිදහස් ශ්‍රී ලංකාවේ ජන කොටසක් ලෙස පිළිගැනීම" යි.
සම්පූර්ණ ඉල්ලීම් මෙසේය.
(II) අනෙකුත් ප්‍රධාන ප්‍රජාවන් හා සමානව වෙනමම අනන්‍යතාවක් සහිත, නිදහස් ශ්‍රී ලංකාවේ ජන කොටසක් ලෙස පිළිගැනීම
(III) ජාතික මට්ටමේ සාමාන්‍යයන් හා සමාන මට්ටමක් ළඟාකර ගැනීමට අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණයන් සම්බන්ධ සාධනීය ක්‍රියාමාර්ග
(IV) ජීවත්වීමට සරිලන වැටුපක්, ගෞරවනීය රැකියා, නෛතික ආරක්ෂාව සහ පිරිමි හා කාන්තා කම්කරුවන්ට සමාන වැටුප්
(V) නිවාස සහ ජීවනෝපාය සඳහා සුරක්ෂිත හිමිකමක් සහිත ඉඩම්
(VI) දෙමළ භාෂාව සමාන ලෙස භාවිතය සහ ඒ සඳහා සමාන තත්ත්වයක්
(VII) රාජ්‍ය සේවා වෙත සමාන ප්‍රවේශය
(VIII) වැවිලි අංශයේ ජනාවාස නව ගම්මාන ලෙස සීමා නීර්ණය කිරීම
(IX) ගෘහස්ථ සේවකයින් ආරක්ෂා කිරීම
(X) මෙලෙයහ සංස්කෘතිය සංරක්ෂණය හා ප්‍රවර්ධනය කිරීම
(XI) රාජ්‍ය පාලනයේ සෑම මට්ටමකදීම අර්ථවත් පාලන කාර්යභාරයක් හිමිවන පරිදි සමානාත්මතාව සහිත සහ අන්තර්කරණය වූ මැතිවරණ ක්‍රමයක් සහ බලය බෙදීමක්.
සමාන පුරවැසියන් ලෙස පිළිගනු ලැබීම සඳහා වන අභියාචනයෙහි පසුබිම..
නිදහසින් පසු මෙලෙයහ දෙමළ ජනතාව විසින් ප්‍රකාශ කරන ලද ඉල්ලීම් තුළ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රජාවන් හා සමානව ඔවුන් පූර්ණ පුරවැසියන් ලෙස පිළිගැනීමක් ලබාදීම ඇතුළත් විය. සමානාත්මතාව, වෙනස්කොට නොසැලකීම, ආරක්ෂාව සහ ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ අනන්‍යතාව ආරක්ෂා කෙරෙන දේශපාලන හා පරිපාලන විධිවිධාන සඳහා ඉල්ලීම්කර ඇත. මෙම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවේ නුවරඑළිය ප්‍රදේශයේ සංකේන්ද්‍රණය වී, ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ ගණනාවක විසිරී ජීවත්වන මෙම ජනතාවට අභිමානයෙන්, ආත්ම ගරුත්වයෙන්, සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් යුතුව ජීවත්වීමට සහ ඔවුන්ගේ කටයුතු කළමනාකරණයකර ගැනීමට අවශ්‍ය හඬ සහ බලය ලබාගනු පිණිසය.
1820 දශකයේ මුල් භාගයේ සිට බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පැවති සමාගම් විසින් ඉන්දියාවේ සිට එකල ‘සිලෝන්’ නමින් හඳුන්වන ලද ශ්‍රී ලංකාවට මෙලෙයහ දෙමළ ප්‍රජාව රැගෙන එන ලදී. බ්‍රිතාන්‍යයින් විසින් මෙරට ‘වතු රාජ්‍යය’ ගොඩනැගීමට යොදාගත් පදනම වූයේ එම ප්‍රජාවගේ ශ්‍රමයයි. ඔවුන් යටත්විජිත ව්‍යවසායන්හි අත්‍යවශ්‍ය කොටසක් විය. නිදහස දිනාගත් අවස්ථාව වන විට මෙම ප්‍රජාව මෙරට සිටි දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම විය. එහෙත්, නිදහස ලබාගත් වහාම නිදහස් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29(2) ව්‍යවස්ථාව මඟින් සුළුතර කණ්ඩායම්වලට ආරක්ෂාව සලසා දුන් විධිවිධාන උල්ලංගනය කරමින් මෙම ප්‍රජාවට පුරවැසිභාවය අහිමි කරන ලදී. ඉන්අනතුරුව බොහෝදෙනෙකු අත්තනෝමතික සහ කැමැත්තෙන් තොරව ඉන්දියාවට ආපසු යවනු ලැබීය. මේ හේතුවෙන් මෙම ප්‍රජාවගේ දේශපාලන තත්ත්වය සහ සමාජ ආර්ථික යහපැවැත්ම බොහෝ සෙයින් හීනවිය.
සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම (1964) සහ සිරිමා-ඉන්දිරා ගිවිසුම (1974) ඇතුළුව ඉන්දියාව සමඟ ඇති කරගත් ද්විපාර්ශ්වික ගිවිසුම් හරහා දසදහස් සංඛ්‍යාත පිරිසක් ඉන්දියාවට පිටුවහල් කරන ලද අතර, තවත් දහස් ගණනකට පුරවැසිභාවය අහිමි කරන ලදී. මෙහිදී නිසි පරිදි ප්‍රජාවගේ අදහස් විමසීමක් සිදුවූයේ නැත. මෙය මෙම ප්‍රජාවෙහි සාමාජිකයින් තුළ ඉමහත් සන්තාපයක් ඇති කළ අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙකු තම ඥාතීන්ගෙන් වෙන්වීමට ලක්වූහ. පුරවැසිභාවය නොමැති ගැටළුව විසඳාගැනීමට සහ මෙම ප්‍රජාවේ සාමාජිකයින්ට විධිමත් පුරවැසිභාවය ලබාගැනීමට දශක කිහිපයක් පුරා අරගල කිරීමට සිදුවිය. එහෙත්, වෙනත් බොහෝ දේශපාලන, පරිපාලන සහ සමාජ-ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රගතිය මන්දගාමී සහ සීමාසහිත මට්ටමක පවතියි.
වර්තමාන තත්ත්වය..
වතුවල පදිංචිකරුවන් ලෙස සිටින 500,000 ට අධික පිරිස ඇතුළු මෙලෙයහ දෙමළ ප්‍රජාවේ වර්තමාන තත්ත්වය වනාහි ස්වකැමැත්තෙන් තොරව මෙරටින් පිටමං කිරීම, බලහත්කාරයෙන් පුරවැසිභාවය අහිමි කිරීම, පුරවැසිභාවය පිළිබඳ අවිනිශ්චිතභාවය සහ ඡන්ද බලය නොමැතිවීම යන අතීත ඉතිහාසයේ ප්‍රතිඵලයකි. මෙය ප්‍රජාවගේ සමාජ-ආර්ථික යහපැවැත්ම කෙරෙහි බලපා ඇත. වැඩිම බලපෑමට ලක්වු කණ්ඩායම වනුයේ වතුවල ජීවත්වන සහ වැඩ කරන පිරිසයි. ඔවුන් මෙරට අනෙකුත් සියලූම ප්‍රජාවන් හා සැසඳීමේදී මානව සංවර්ධන දර්ශක සියල්ලෙන්ම අඩුම අගයන් වාර්තා කරන රටේ වඩාත්ම කොන්වීමට ලක්වු කණ්ඩායම බවට පත්ව ඇත. මෙම තත්ත්වය වතු හාම්පුතුන්ට බැඳී සිටින සහ ඔවුන් මත යැපෙන කම්කරුවන්ව සිටීමේ තත්ත්වයෙන් මිදී, අන් අය හා සමාන අයිතිවාසිකම් සහිත ශ්‍රී ලංකාවේ පූර්ණ පුරවැසියන් තත්ත්වයට පරිවර්තනය වීමට දැඩිව බාධාකාරී වී ඇත.
ඉහත සඳහන් කළ වතුකර ප්‍රජාවෙන් විශාල ප්‍රමාණයක් තවමත් අවම ජල සහ සනීපාරක්ෂක පහසුකම් සහිත ලයින්කාමර නිවාසවල ජීවත්වෙති. ළදරු මරණ, උපත් බර සහ වයසට සරිලන උස ඇතුළු බොහෝ සෞඛ්‍ය සහ පෝෂණ දර්ශක මෙරට ජාතික සාමාන්‍ය අගයන්ට සාපේක්ෂව පරම්පරාගත ලෙස පහළ මට්ටමක් පෙන්නුම් කරයි. වතුකරයේ ළමයින් දශක ගණනාවක් තිස්සේ ජාතික අධ්‍යාපන පද්ධතියෙන් බැහැරකර ඇති බැවින් සැලකිය යුතු මට්ටමක අහිමි කිරීමක් නිර්මාණයකර ඇති අතර එය තවමත් සම්පූර්ණයෙන් නිවැරදිකර නොමැත. වතුවල ජීවත්වන ජනතාවට සේවා සපයන සෞඛ්‍ය පහසුකම් තවමත් ප්‍රධාන ධාරාවෙහි නොමැත. ඒ හා සමානවම, මෙම ජනගහනයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපනයෙහි සාධන මට්ටම්වලට ළඟාවීම සැලකිය යුතු ලෙස අඩු අගයක් ගනී. අනෙකුත් ප්‍රජාවන්ට සාපේක්ෂව සලකා බැලීමේදී, මෙලෙයහ දෙමළ ප්‍රජාව රාජ්‍ය අංශයේ රැකියාවල සහ තෘතීයික අධ්‍යාපනයෙහි නිරත වී සිටීම ඉතා අඩු මට්ටමක පවතින අතර, ඉඩම්, පරිපාලන සේවා සහ සුබසාධන වැඩසටහන් සඳහා ඇති ප්‍රවේශයෙහි දැඩි අසමානත්වයක් පවතියි. බොහෝදෙනෙකුට ලිපිනයක් නැත. මෙම ප්‍රජාවේ සාමාජිකයින් අතර දරිද්‍රතා අනුපාතය ජාතික සාමාන්‍ය අගයට වඩා සැලකිය යුතු ලෙස ඉහළය. ඔවුන් ආපදාවලට ලක්වීමේ වඩාත්ම වැඩි අවදානම සහිත, එහෙත් රජයේ ආපදා පෙරසූදානම් සහ අවම කිරීමේ ක්‍රියාමාර්ගවලට අඩුවෙන්ම ඇතුළත්කර ඇති පිරිස වේ.
ප්‍රජාවේ දේශපාලන තත්ත්වය සහ සමාජ-ආර්ථික යහපැවැත්ම එකිනෙකට සමීපව බැඳී ඇති බව අපි විශ්වාස කරන්නෙමු. දීර්ඝ කාලයක් පුරා වෙනස්කොට සැලකීම, පුරවැසිභාවය නොමැතිවීම, ඡන්ද අයිතිය අහිමිවීම සහ ඉන්පසුව සිදුවු ජනගහනය අඩුවීම අද දක්වාම දීර්ඝ සෙවණැලි නිර්මාණය කරමින් තිබෙන අතර අපගේ ඉල්ලීම්වල ස්වරූපය ද හැඩගස්වා ඇත. මෙම ප්‍රජාව පීඩාවට ලක්කළ ව්‍යුහගත ප්‍රචණ්ඩත්වයේ චක්‍ර, එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන අභ්‍යන්තර හා බාහිර අවතැන්වීම්, ඔවුන් විසින් අත්විඳිනු ලබන වෙනස් ආකාරයේ හා අසාධාරණ සැලකීම් සහ අඛණ්ඩ කොන්කිරීම් අපගේ අභියාචනයට වැඩි හදිසිභාවයක් එක්කර ඇත.( උපුටා ගැනීම - පා ගමනේ දී ජනතාව දැනුවත් කිරීම සදහා ලබා දෙන පත්‍රිකාවෙනි.)
පහතින් දැක්වෙන්නේ, පා ගමනේ 7වන දිනයේදී මන්නාරමේ මඩු හංදියේ සිට සෙට්ටිකුලම් දක්වා කිලෝමීටර 26 දක්වා වූ පා ගමනේ දී 'විකල්ප' කැමරාවට හසු වූ ඡායාරූප පෙළකි.-








No comments:
Post a Comment