රාජ්‍ය සේවා කොමිසම අසූචි තැවරුනු වස්තරය ගලවා ප්‍රසිද්ධියේ ගසා දමමින් සිටියි..! වටේටම අසූචි..! කොමිසමත් හෙළුවෙන්..!
-ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් කන්නන්ගර ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.24, ප.ව.11.15) රාජ්‍ය සේවා කොමිසමෙන් එහි ලේකම් පත් කිරීමට අදාලව ප්‍රශ්න කිහිපයක් විවෘතව විමසුවේ අගෝස්තු 11වන දින ය. එහෙත් ඒ ගැන කිසිදු හඬක් කොමිසම පැත්තෙන් මතුවුණේ නැත. ඒ විමසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙනවාට වඩා නිහඬව සිටීම වඩාත් හොඳයැයි ඔවුන් තීරණය කළ නිසා විය හැකිය. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය වෙනුවෙන් හඬා වැටෙමින් ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් රටට අවශ්‍යයැයි හඬනැගූ බොහෝ අපගේ මිත්‍රයන් මේ ගැන නිහඬව සිටීම නම් පුදුම සහගත ය. ඊනියා ස්වාධීන කොමිසන් සංකල්පය ගෙන එන විට ම මම ඊට විරුද්ධ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෙමි. ඒ රාජ්‍ය සේවාව තුළ ක්‍රියාත්මක වුණු පක්ෂග්‍රාහී ක්‍රියාකාරිත්වය හොඳයැයි පිළිගත් නිසා නොවේ. රටේ ආණ්ඩු කාරවරයා විසින් පත්කළ රාජ්‍ය සේවා කොමිසමක පාලනය යටතේ තිබූ රාජ්‍ය සේවයේ පූර්ණ බලය 1972 ව්‍යවස්ථාව මගින් අමාත්‍ය මණ්ඩලය වෙත පැවරීම නිසා රාජ්‍ය සේවාව පක්ෂග්‍රාහී වූයේ යැයි බලවත් සේ චෝදනා කරමින් රාජ්‍ය සේවාවේ විශ්‍රාමික බලවතුන් වැඩි දෙනෙක් රාජ්‍ය සේවය ස්වාධීන කොමිසමක පාලනයට යටත් කළයුතු යැයි හඬ නැගීම ආරම්භ කළේ 1974 වර්ෂයේ දී පමණ ය.
අමාත්‍යවරයා නම් කපුවා..
මේ ඉල්ලීම සාධාරණීකරණය කිරීමට 1977 පසු බලයට පත්වූ රජය අමාත්‍ය මණ්ඩල පත්‍රිකා හරහා නුසුදුස්සන්ට හා අඩු සුදුසුකම් සහිත ආණ්ඩුවේ ගැත්තන්ට පත්වීම් උසස්වීම් ආදිය ලබා දෙමින් සෑහෙන මෙහෙවරක් කළහ. රාජ්‍ය සේවාවේ ඉවක් බවක් නොමැතිව අමාත්‍ය මණ්ඩල බලය යටතේ සිදු කළ පත්වීම් වෙනුවට තරඟ විභාග ක්‍රමය යලි හඳුන්වා දීමට ප්‍රේමදාස ජනාධිපතිවරයා ක්‍රියා කරන තෙක් රාජ්‍ය සේවයේ බොහෝ තනතුරුවල පත්වීම් මාරුවීම් උසස්වීම් (ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හැර) සිදු කෙරුනේ දේශපාලනිකව ය. මේ යටතේ රාජ්‍ය සේවාවේ පරිපාලනයේ දී අමාත්‍ය මණ්ඩලය නම් දේවාලයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව නම් පූජා වට්ටිය ඉදිරිපත් කර පත්වීම් උසස්වීම් ස්ථාන මාරු ආදිය තමන්ගේ හිතවත් කම අනුව ලබාදීමට අමාත්‍යවරයා නම් කපුවාට හැකිවිය.
ස්වාධීන බෝඩ් ලෑල්ලට මුවා වී..
මේ නිසාම තදබල විවේචනයට ලක් වූ මේ ක්‍රමය වෙනස් කිරීමේ දී පැරණි ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම යළි සක්‍රිය කළ යුතුයැයි නැගුනු හඬට මා විරුද්ධවූයේ ස්වාධීනත්වය පවත්වා ගනිමින් ක්‍රියා කළ හැකි පුද්ගලයින් අතිශය දුර්ලභ බැව් දැනසිටි නිසා ය. එමෙන්ම ස්වාධීන බෝඩ් ලෑල්ලට මුවා වී කොමිසමකට පැනගන්නා පන්දමුන් කරන විනාශයක් වැලැක්වීමේ ක්‍රමවේදයක් නොමැති බව ඊටත් වඩා හොඳින් දැන සිටි නිසාය. අමාත්‍ය යටතේ බලතල තිබියදීත් ස්වාධීනව ක්‍රියා කළ හැකිබව ඔප්පු කළ රාජ්‍ය නිලධාරීන් සිටියත් ඒ අතිශය සීමිතවය. ස්වාධීන කොමිෂන් සභා පවත්වාගෙන යා හැකි අපක්ෂපාතී ස්වාධීන පුද්ගලයින් නැති තත්වය තුල කළ යුතුව තිබුනේ තමන් වෙත පැවරී ඇති බලය පක්ෂග්‍රාහී ලෙස භාවිතා කිරීමට එරෙහි දැඩී නීති පනවා නෛතික ක්‍රමවේද ඔස්සේ බලධාරීන්ගේ ක්‍රියාවන් පාලනය කිරීමට පියවර ගැනීමය. උදාහරණ ලෙස රාජ්‍ය සේවකයින්ගේ පරිපාලනමය කටයුතුවලදී පක්ෂග්‍රාහීව ක්‍රියා කර ඇත්දැයි පැමිනිලි මත විමර්ශණය කිරීමේත් අදාල පැමිනිල්ල සාධාරණව ඔප්පු වුවහොත් අමාත්‍යවරයාට තනතුරෙන් ඉවත්කළ හැකිවන පරිදි නීති හඳුන්වා දිය යුතුව තිබිනි. ඒ කිසිවක් නැතිව කොමිෂන් සභා ඇතිකර පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික සභාවකින් ඒවාට සාමාජිකයින් පත් කිරීමට නිර්දේශ ගත්තාට කොමිසමක ස්වාධීනත්වය රැකගත නොහැකි බව වර්තමාන රාජ්‍ය සේවා කොමිසම ඔප්පු කරමින් සිටියි.
චෝදනා පිලිගත් බව හැරවෙන කුමක්ද?
රාජ්‍ය සේවා කොමිෂන් සභාව එහි ලේකම් තනතුරේ පුරප්පාඩුව පිරවීමේදී විවෘත හා තරඟ කාරී ක්‍රමවේදයක් අනුගමනය නොකර බලවතෙකුගේ බලපෑම මත හිතුවක්කාරී ක්‍රමවේදයකට අයෙකු තෝරා ගැනීමට යන්නේය යන චෝදනාව මුලින්ම කළේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියයි. මෙය ස්වාධීන කොමිසන් සභාවක් අරබයා ලැබෙන ඉතා බරපතල චෝදනාවකි. අනතුරුව ලේකම්ධුරයට අයෙක් තෝරාගත් පසුව නිරීක්ෂණය වූ කරුනු මත මා අගෝස්තු11 වන දින සටහනක් පළකරන ලදී. අනතුරුව මගේ සටහනත් උපුටා දක්වමින් මා නොදැන සිටි තොරතුරුත් සහිත විස්තරාත්මක ලිපියක් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ යලිත් පලවිය. මගේ සටහන මෙන් නොව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ලොව පුරා වෙසෙන සිංහල භාෂාව භාවිතා කරන ලක්ෂ ගණනක පිරිසක් පරිශීලනය කරන වෙබ් අඩවියකි. ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ව්‍යුහයේ ප්‍රමුඛතම ස්වාධීන කොමිෂන් සභාවක් කටයුතු කළ අන්දම ගැන එබඳු වෙබ් අඩවියක පලවන ලිපියක් පිලිබඳව පවා නිහඬව සිටීමෙන් රාජ්‍ය සේවා කොම්සම කියන්නේ ඒ චෝදනා පිලිගත් බව හැරවෙන කුමක්ද?
අපූරු තොරතුරක්.. තොරතුරු නිලධාරියා හොරාගෙන්ම පේනය අහයි..
මේ අතර තවත් අපූරු තොරතුරක් මේ කාරණය අරබයා අද දැන ගන්නට ලැබුනි. මේ ලේකම් ධුරයේ පුරප්පාඩු පිරවීමේදී අක්‍රමිකතාවයන් ගැන තොරතුරු පලවීමෙන් පසු සිදුවූ බවට දැන ගන්නට ලැබුනු තොරතුර මෙසේය. රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් පත් වීමට අදාලව කිසියම් පුරවැසියෙක් තොරතුරු දැන ගැනීමේ පණත යටතේ තමා වෙත තහවුරු කර දී ඇති අයිතිවාසිකම අනුව රාජ්‍ය සේවා කොමිසමේ තොරතුරු නිලධාරියාගෙන් තොරතුරු ඉල්ලීමක් සිදු කර ඇත. රාජ්‍ය ආයතනයක තොරතුරු නිලධාරියෙකු පත්වන්නේ තොරතුරු දැනගැනීමේ අයිති වාසිකම් පණතේ 23(1) වගන්තිය අනුවය. ඒ වගන්තිය ප්‍රකාරව සෑම රාජ්‍ය ආයතනයකම තොරතුරු නිලධාරියෙකු හා අභියාචනා විභාග කිරීමට නම් කළ නිලධාරියෙකු පත්කළ යුතුවේ. මේ අනුව පත් කරන තොරතුරු නිලධාරියා වෙත තොරතුරු ඉල්ලා අයදුම්පතක් ලද පසු එම ඉල්ලීම ලද බවට ලිඛිත දැන්වීමක් වහාම නිකුත් කර 25(1)වගන්තිය පරිදි තොරතුරු ලබාදීම හෝ පණතේ 5 වන වගන්තියේ දැක්වෙන හේතුවක් හෝ හේතුන් කීපයක් යටතේ ප්‍රතික්ෂේප කිරීම කළයුතු වේ. රාජ්‍යසේවා කොමිසමේ ලේකම් ධුරයේ පුරප්පාඩුව පිරවීමට අදාල ලියවිලි වල පිටපත් ඉල්ලා සිදුකල ඉල්ලීම රාජ්‍ය සේවා කොමිසමේ තොරතුරු නිලධාරියාට ලැබී ඒ සඳහා තොරතුරු පණතේ 24(3)වගන්තියේ ප්‍රකාරව ඩී එම් එස් 298674 නම්වූ අංකයක්ද නිකුත් කර ඇත. ඉන් පසුව තොරතුරු නිලධාරියා ක්‍රියා කර ඇත්තේ තොරතුරු පණතට අනුව මෙන්ම කවර හෝ නීත්‍යානුකූල පරිපාටියකට අනුව නොවන බව ආරංචිය. තොරතුරු නිලධාරියා මේ තොරතුරු ඉල්ලීම කොමිෂන් සභාවේ සාමාජිකයින්ට ඉදිරිපත් කළ බව එහි වෙබ් අඩවිය අනුව පැහැදිලිය. ඒ අතර දින 14 ක් තුල පිලිතුරක් දෙන බවට ද ලිපියක් තැපැල් කළ බව දැනගන්නට ඇත. තොරතුරු පණත යටතේ තොරතුරු නිලධාරියාගෙන් ඉල්ලන අතීත තොරතුරක් දීමට කොමිසන් සභාවේ සාමාජිකයින්ට ඉදිරිපත්කර අවසරයක් ලබා ගතයුතු යැයි නියමයක් නැත. මේ සිදුවන්නේ හොරාගේ අම්මා නොව හොරාගෙන්ම පේනය ඇසීම බව තොරතුරු නිලධාරියා තේරුම් ගතයුතුය.
කව්ද ඒ අද්භූත "ඇමැතිතුමා"
ඊලඟ සිද්ධිය වනුයේ තොරතුරු ඉල්ලා සිටි ලිපිනයේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලියුම් බෙදන්නා මගින් තොරතුරු ඉල්ලීම කළ අයගේ නමින් කෙනෙක් සිටිනවාදැයි ඇමතිතුමා සොයා බලන ලෙස කිව්වේ යැයි පවසමින් විමසා බැලීමය. රාජ්‍ය සේවා කොමිසමට ඇමති කෙනෙක් නැත. එසේම අපේ රටේ වරක් ඇමතිවූ ඕනෑම එකෙක් පැරදුනත් මැරෙන තුරු ඇමතිතුමාය. මහ ආන්ඩුවේද පලාත් සභාවේද ඇමතිවරු සිටි බැවින් ඉන්න ඇමති කෙනෙක්ද හිටපු ඇමති කෙනෙක්දැයි කිසිවෙකුට සිතාගත නොහැක. සමහර පාතාලේ එවුන්ටත් ඔයවාගේ අපූරුනම් තිබෙන නිසා මේ ඇමතිතුමා යැයි හඳුන්වන්නේ එහෙම එකෙක් වන්නත් පුලුවන. හරියටම මේකා කවුදැයි දන්නේ තැපැල් පියුං මහත්තයාට මේ වැඩේ පැවරුව එකා විතරය. කවුරුන් හෝ මේ ඇමතිතුමා යැයි හඳුන්වන කෙනා රාජ්‍ය සේවා කොමිසමට ඔත්තුකාර කම් කරන කෙනෙක් බව නම් පැහැදිලිය. ලේකම් පත් කිරීමේ තොරතුරු ඉල්ලීම ගැන ඇමතිතුමායැයි හඳුන්වන කෙනෙක් කලබල වී ඔත්තු බලා ඇති බව දැන ගන්නට ලැබීමෙන් පේන්නේ ඒ පත්වීම ගැන උනන්දුවන ඉන්න හෝ හිටපු දේශපාලකයෙක් හෝ පාතාලයෙක් සිටින බවය.
අසූචි තැවරුනු වස්තරය ගලවා ප්‍රසිද්ධියේ ගසා දමමින් සිටියි..
ඔය කොයි එකා සිටියත් ඒකේ වැඩි වෙනසකුත් නැත. දැන් මේ පෙන්නන්නේ ඊනියා ස්වාධීන කොමිසමක් විසින් ඇඳගෙන සිටින වස්තරයේ මලපහ කර ගඳ ගහයි කියා බියවී අසූචි තැවරුනු වස්තරය ගලවා ප්‍රසිද්ධියේ ගසා දැමීමය. වටේම ඉන්නා හැම දෙනාගේම මූණු අසූචියෙන් නැහැවෙන බව ඒ අයම තේරුම් ගත යුතුය. අසූචි වස්තරය ගලවා ගසනවිට නිරුවත හොඳටම පේන්නේ ලඟින්ම ඉන්න අයටය. කොමිසමේ ඉන්නා වැදගත් සාමාජිකයින් කීපදෙනා එක්කෝ මේවා නිවැරදි කිරීමට ක්‍රියාත්මක වියයුතුය. නැත්නම් අසූචී ගා ගන්නා අඳ බාලයන්ගෙන් ගැලවී තම ගෞරවය ආරක්ෂා කර ගත යුතුය. රාජ්‍ය සේවාවේ බොහෝදේ ප්‍රසිධ රහස් වන බවත් ඒගැන හඬක් නො නගන්නේ ඒවා අනුමත කරන නිසා නොව පලිගැනීමට ලක්වෙතැයි යන බියනිසා බවත් මේ කුණුවැඩ කරන ගොබ්බයින් දැනගතයුතුය.
රාජ්‍ය සේවයේ ගෞරවය තමන් පමනක් රැක්කාට පලක් නැති බවත් ගෞරවය කෙළෙසන එවුන්ට ඉඩ දී නිහඬව බලාසිටීමෙන් තමනුත් ඒ අපරාධයට වක්‍රව සහාය දෙන්නන් බවට පත්වන බවත් රාජ්‍ය සේවයේ යෙදී ඉන්නා අවංක බහුතරයත් තේරුම් ගත යුතුය.
-සුනිල් කන්නන්ගර
විශ්‍රාමික ශ්‍රී ලංකා පරිපාලන සේවය
https://www.lankaenews.com/category/100
සබැඳි ලිපි

No comments:
Post a Comment