“මඩු පල්ලිය සහ ජනාධිපති කතාව”- ඥානාර්ථ ප්‍රදීපය පමණක් ජනපතිට දොස් නඟන අතරේ කතෝලික රද ගුරු මණ්ඩලය නිහඬ ඇයි..?
-මාදම්පේ රීටා ජෙනට් පෙරේරා ප්‍රශ්න කරයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.20, ප.ව.9.10) “මඩු පල්ලිය සහ ජනාධිපති කතාව” යන මැයෙන් වන මෙම කතුවැකිය අපට දක්නට ලැබුණේ අද (20) ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතෙනි. එම සම්පූර්ණ කතුවැකිය මෙලෙසිනි.
අපේ පල්ලිවලට මේ ලෙඩේ බෝ වෙන්න ඉඩ දෙන්න එපා...
“පෞද්ගලික රූපවාහිනී නාලිකාවකින් විකාශනය වුණු ඊයේ (15) වෙනිදා මඩු පල්ලියේ මංගල්‍ය මම උදේ ඉඳන්ම හරිම භක්තියෙන් බලන් හිටියා. දිව්‍ය පූජාව හරිම භක්තිමත්ව ලස්සනට තිබුණා. හැබැයි පූජාවෙන් පස්සේ ජනාධිපතිවරයා ඇවිල්ලා කරපු කථාව ඇහැව්වම මට ලොකු වේදනාවක් ඇතිවුණා. තාමත් ඒ දුක මගේ හිතෙන් ගියේ නැහැ. එයා ඇවිත් අල්තාරේ ඉඳන් කළේ තනිකරම දේශපාලන කථාවක්. එතන හිටිය මිනිස්සු වගේම ගෙදර හිටිය අපිත් ඒ වෙලාවේ දේව මෑණියන්ට භක්තියෙන් යාඥා කරමින් කන්නලව් කරමින් සිටියේ. පූජාව පුරාම මිනිස්සු හරිම භක්තියෙන් හිටියේ. ජනාධිපති කරපු කතාවෙන් ඒ භක්තිමත් පරිසරය විනාශ වුණා. ඒ කථාවේ දී අරවා දෙන්නම් මේවා දෙන්නම් කිය කියා කළේ තනිකරම දේශපාලන කථාවක්. දේශපාලකයන්ට ඒගොල්ලන්ගේ කථා පවත්වන්න ඕනෙ නම් ඒ ගොල්ලන්ගේ වේදිකා රැළි වලදී ඒවා කතා කරගන්න පුළුවන්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපේ මිනිස්සුන්ගේ ශරීර සහ ජීවිත විනාශ කළා. දැන් අධ්‍යාත්මය විනාශ කරන්නයි යන්නේ. අපේ පල්ලිවලට මේ ලෙඩේ බෝ වෙන්න ඉඩ දෙන්න එපා. අපේ පල්ලි විතරක් නෙමෙයි පූජාවට සහභාගී වෙන්න අපේ පල්ලිවලට එන මිනිස්සුන්ගේ ආත්මයත් විනාශ කරන්නයි යන්නේ. ඒකට නම් ඉඩ දෙන්න එපා පියතුමනි’
මේ එක්තරා භක්තිමත්, මහළු කාන්තාවක් අද(16) උදේ දුරකථනයෙන් අප අමතා කළ ප්‍රකාශයක කොටසකි. මුළු මහත් දුරකථන සංවාදය පුරාවටම ඇය හැඬුවා ය. අද මෙසේ උපුටා දැක්වුයේ එක් දුරකථන සංවාදයක් පමණකි. ජනාධිපතිවරයාගේ එම කතාවට විරෝධය දක්වමින් සහ විවේචනය කරමින් ගිහියන් ගණනාවක් දුරකථන ඇමතුම් ලබාදුනි. ඒ පිළිබඳව සටහනක් තැබීම කාලෝචිත යැයි අපි සිතුවෙමු.
දේශපාලකයන්ට අවස්ථාව ලබා නොදිය යුතුය..
මඩු සිද්ධස්ථානය මුළු මහත් ශ්‍රී ලාංකේය ජනතාවගේම ගෞරවාදරයට පාත්‍ර චී ඇත්තේ පූජනීය භූමියක් ලෙස ය. අප කතෝලික මෙන්ම අන්‍යාගමික ජනතාව ද මංගල්‍යය සඳහා එහි යන්නේ, මහත් වූ භක්තියෙන් ප්‍රාර්ථනා සහ දුක වේදනාව මරුද මඩු මෑණියන් ඉදිරියේ තැබීමට මෙන්ම එතුමියගේ මැදිහත් කමින් දෙව්පියාණන්ගෙන් තමන් ලද සියලු වරප්‍රසාද වෙනුවෙන් තුති පිදීමට ය. එදා සිට මේ දක්වාම මරුද මඩු පුද බිම ශුද්ධ වූ සහ පූජනීය බිමක් ලෙස කතෝලික සැදැහැවත්හු සලකති. ඒ බිමෙහි දී එම ශුද්ධවත් බවට අල්ප හෝ හානියක් වන වචනයක් පවා මුවින් පිට නොකිරීමට ඔවුහු පරෙස්සම් වෙති. මරුද මඩු මෑණියන්ගේ මංගල මහා පුජාවට ඔවුන් සහභාගි වන්නේ ඉමහත් භක්තියකිනි. දිව්‍ය පූජාවෙන් අනතුරුව ඔවුන් පුල පුලා භක්තියෙන් බලා සිටින්නේ මරුද මඩු මෑණියන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර දෙස ය.
ඒ අතරතුර සිදුවූ ජනාධිපති වරයාගේ කථාව අප ජනතාවගේ එම අධ්‍යාත්මික භාවනාව සහ ශීලය බිඳ දැමීමක් බව බොහෝ දෙනාගේ මතයයි. එය කිසිසේත්ම ඒ මැදට ඇතුලු කළ යුතුව තිබූ අවස්ථාවක් නොවන බව පැහැදිලි ය. අපගේ ආගමික සිද්ධස්ථානයක ආගමික මෙහෙයන් අතරතුර දේශපාලකයින්ට විශේෂයෙන් මතුවන්නට හෝ කථා පැවැත්වීමට හෝ අවස්ථාව නො දිය යුතුය යන්න අපගේ මතයයි.
ජනාධිපතිවරයාට හැඟීමක් තිබිය යුතු ය..
අනෙක් අතට, තමා සිටින්නේ කොතැනකද, තමන් කථා කරන්නේ කවුරුන්ටද, ඒ අනුව තමා කථා කළ යුත්තේ සහ නොකළ යුත්තේ මොනවාද? යන කාරණා පිළිබඳව රටේ ප්‍රධාන පුරවැසියා ලෙස, ජනාධිපතිවරයාට හැඟීමක් තිබිය යුතු ය යන්න ද නො කියාම බැරිය. පොරොන්දුවලින් පිරුණ දේශපාලන කථා ඒ අවස්ථාවට කෙසේවත් නො ගැලපෙන බව ඔහු තේරුම් ගත යුතුව තිබිණි.
සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ භක්තියට භාජනය වූ ප්‍රධාන කතෝලික සිද්ධස්ථානයට, භක්තියෙන් සහ යාච්ඤාවෙන් යුතුව රැස්ව සිටි සැදැහැවතුන්ගේ එම ඇතුලාන්ත අධ්‍යාත්මික පරිසරය විනාශ කෙරෙන පරිදි කථා නොකිරීමට ජනාධිපතිවරයා වගබලාගත යුතුව තිබිණි. මෙවැනි නුසුදුසු සහ අවාසනාවන්ත සිදුවීම් මින් මතුවට සිදු නොවීම අරමුණකොට ගෙන මෙම සටහන තැබුවෙමු. එය හුදු සෘණාත්මක විවේචනයක් ලෙස බාර නොගෙන ධනාත්මක අදහස් දැක්වීමක් ලෙස බාර ගන්නැයි අදාළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු” (උපුටා දැක්වීම අවසන්)
ඥානාර්ථ ප්‍රදීපය යනු 1866 වසරේ සිට එදා මෙදා තුර නොකඩවා...
ඥානාර්ථ ප්‍රදීපය පුවත් පත ඇරඹෙනුයේ 1866 වසරේ ශාන්ත බෙනඩික්ට් නිකායික හිලේරියන් සිල්ලානි පියතුමන්ගේ පුරෝගාමීත්වයෙනි. ඥානාර්ථ ප්‍රදීපය යනු එදා මෙදා තුර ලංකාවේ නොකඩවාම පළවන එකම සිංහල පුවත්පත ද වෙයි. එමෙන්ම එහි සුවිශේෂත්වය වනුයේ එය කතෝලික සභාවේ නිල ප්‍රකාශනය ද වීම ය. ඒ අනුව ඥානාර්ථ ප්‍රදීපය ගැන සමස්ත ශ්‍රී ලංකාවේම අවධානය යොමුවිය යුතුව ඇත. සාමාන්‍ය පුවත් පත් බෙදා හැරීමේ යාන්ත්‍රණයෙන් බැහැරව පල්ලිය සහ මීසම් සංවිධාන කේන්ද්‍රකරගෙන බෙදාහරින ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත නියත වශයෙන්ම කතෝලික සභාවේ නිල ස්ථාවරය පවසන ප්‍රකාශනයයි. එමෙන්ම එය ගිහි පැවිදි සමස්ත ශ්‍රී ලාංකේය ප්‍රජාව අතුරින් දැනට අපට සිටින ජන මාධ්‍ය සම්බන්ධ ප්‍රාමාණික විද්වතකු වන කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන්ගේ අධීක්ෂණය යටතේ එළි දැක්වෙන ප්‍රකාශනයක් ද වෙයි. ඒ අනුව එවන් පුවත් පතක කතුවැකියෙන් පැවසෙන දෙය තුළ ජාතික වටිනාකමක්; අගයක් ද තිබේ.
"කොළේ වහලා ගැහීම"..
ඉකුත් 15 වන දා පැවති මඩු සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දී ජනපති වරයාගේ කතාව දැඩි විවේචනයට ලක් කළ ඥානාර්ථ ප්‍රදීප කතු වැකිය ඊට එක් වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපොස්තලික තානාපති බ්‍රයන් උඩග්වේ රද ගුරු හිමිපාණන් එහිදී කළ ප්‍රකාශය ගැන එක් වදනකුදු සඳහන් කොට නැත. උන් වහන්සේ එහි දී කියා සිටියේ ජාතික සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී කළ කතාව ප්‍රසංශනීය බව ය. එමෙන්ම ඊට වතිකානුවේ ද ආශීර්වාදය හිමි වන බවකි. ඒ අනුව එය ද ඒකාන්තයෙන්ම දේශපාලන කතාවකි. නමුත් ඉහත චෝදනාව සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ සම වග උත්තර කරුවකු කළ යුතු උන් වහන්සේ සේ නම නිකමට වත් සඳහන් නොකිරීමට කතෝලික සභාවේ ඥානාර්ථ ප්‍රදීපය කතු වරයා කටයුතු කොට තිබේ. අපේ පළාත්වල ජන වහරේ එන "කොළේ වහලා ගැහීම"යනු ද මේ හා සමාන සිදුවීම් වලට යෙදෙන උපහැරණයකි. නමුදු ඉහත සඳහන් සිදුවීම මුල් කොට කතෝලික ගිහි සංවිධාන එකමුතුව පසුගිය දා නිකුත් කළ නිවේදනයක නම් එම පටු සීමාවෙන් එපිට යමක් කතා කොට තිබේ.එම මාධ්‍ය නිවේදනයේ මෙසේ ද දැක්වෙයි."......................... වතිකාන තානාපති රදගුරු හිමිපාණන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මුඛ්‍ය දේශනයේ දැක්වූ අදහස් සහ එයට සමගාමීව ජනාධිපති හදිසියේ පැමිණ කළ දේශපාලන කතාව සැලසුම් සහගත දේශපාලන කුමන්ත‍්‍රණයක්දැයි අපි අපේ දැඩි අවධානය යොමු කරමු. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතෝලික රදගුරු මණ්ඩලයේ ද අවධානය වගකීම් සහගත ලෙස යොමු වෙතැයි අපි බලාපොරොත්තු වෙමු. ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අවසර ලබාදීම ගැන මන්නාරම රදගුරු අති උතුම් එම්මානුවෙල් ප‍්‍රනාන්දු හිමිපාණන්ට අපි අපේ අප‍්‍රසාදය පළ කරමු.
එසේම මඩු දේවමාතා සිද්ධස්ථානය මන්නාරම පදවියට අයත් වුවත් එය මුළු රටේම කතෝලිකයන්ට අයත්, මුළු රටේම කතෝලිකයින්ගේ ගෞරවය, විශ්වාසය හා ශ‍්‍රද්ධාව මත බිහි වූ පොදු ස්ථානයක් බවද මතක් කරන්නට කැමැත්තෙමු." (උපුටා දැක්වීම අවසන්)
කතෝලික රදගුරු මණ්ඩලයේ හඩ යටපත් කොට...
කොළඹ අගරද ගුරු පදවිය හොබවන මැල්කම් කාදිනල් රංජිත් මාහිමිපාණන් කතෝලික සභාව සම්බන්ධයෙන් සේම මෙරට දේශපාලන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අති මහත් උනන්දුවක් පළ කරන පැවිදි උතුමෙකි. ඉකුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උන් වහන්සේ ගේ හඬ ජාතික තලයේ රැව් පිළිරැව් දුන්න ද එට පෙර මැල්කම් කාදිනල් රංජිත් මාහිමිපාණන් යනු මහින්ද රාජපක්ෂගේ දේශපාලනය වෙනුවෙන් විසල් මෙහෙයක් කළ දේශපාලනික චරිතයක් බව විවිධ මත දරන පුවත්පත් කාටූන් ශිල්පීන් උන් වහන්සේ රුව කාටූන් වලට නංවා තිබූ අයුරින් මනාව තහවුරු වේ.ඒ අතරේ උන් වහන්සේ ගේ නමේ මුල් අකුරු දෙක වන MR යන්න මහින්ද රාජපක්ෂ නමේ මුලකුරු සමඟ ගලපා උපහාසාත්මක ලේඛන ද මාධ්‍ය වල පළ කොට තිබූ අයුරු අපට මතක ය. මැල්කම් කාදිනල් රංජිත් මාහිමිපාණන් කොළඹ අගරද ගුරු පදවිය දැරුවද කතෝලික සභාව තුළ පවත්නා ප්‍රජාතන්ත්‍රීය ව්‍යුහය තුළ දාහතර ලක්ෂයක් පමණ වන ලංකාවේ කතෝලික ප්‍රජාව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ කුරුණගල රද ගුරු හැරල්ඩ් ඇන්තනි හිමිපාණන්ගේ සභාපතිත්වයෙන් යුතු කතෝලික රදගුරු මණ්ඩලයට ය. එහෙත් ඒ හඬ යටපත් කොට ගත වූ කාලය පුරා කොළඹ අගරද ගුරු පදවිය හොබවන මැල්කම් කාදිනල් රංජිත් මාහිමිපාණන් කළ කී ප්‍රකාශ නිසා එය මෙරට පොදු කතෝලික හඬය යන වැරදි මතයක් කිතුණු සේම සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව අතරේ ද පැතිර තිබේ. එමෙන්ම එදා මෙදා තුර රද ගුරු පදවි අතර පැවැති සීතල යුද්ධ වල උනුසුම ඒ ඒ පදවි වලට අයත් රද ගුරු තුමන්ලාට පිය තුමන්ලාට සේම කිතුණු ජනතාවට ද නොදැනුණා නොවේ. විශේෂයෙන් අග රද ගුරු ධුරය හිමි කර ගත් කොළඹ පදවිය විසින් මීට දශක ගණනාවකට පෙර හලාවත පදවියෙන් නැඟී හා ප්‍රගතිශීලී හා ලිබරල්වාදී කිතුණු මතවාද සියුම් ලෙස යටපත් කිරීමට දැරූ වෑයම මෑත කාලීන කතෝලික ඉතිහාසයෙන් යටපත් කළ නොහැක.
බ්‍රයන් උඩග්වේ රදගුරු හිමිගේ ප්‍රකාශය ගැන කතෝලික සභාවේ නිල ස්ථාවරය වහ වහා ප්‍රකාශ කළ යුතු ය..
එමෙන්ම බොහෝ කිතුණු සංවිධාන ද කොළඹ අගරද ගුරු වසම කේන්ද්‍රගත ව ස්ථාපිත වීම නිසා ඒවායේ ගිහියන් පවා සෙසු පදවි වල රද ගුරු තුමන් ලාට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කරන මට්ටමට පැමිණ තිබේ. "ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අවසර ලබාදීම ගැන මන්නාරම රදගුරු අති උතුම් එම්මානුවෙල් ප‍්‍රනාන්දු හිමිපාණන්ට අපි අපේ අප‍්‍රසාදය පළ කරමු" යනුවෙන් කතෝලික ගිහි සංවිධාන එකමුතුව පසුගිය දා නිකුත් කළ නිවේදනය ඊට එක් නිදසුනක් පමණි. කිසියම් ගිහි සංවිධානයක් මඟින් අප රටේ රද ගුරු තුමකුට ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළ කිරීම අප දකිනුයේ පොදුවේ සමස්ත ශ්‍රී ලාංකේය කතෝලික ප්‍රජාවේ විනය පිරිහීමක් ලෙසිනි. එහෙත් ඒ සඳහා ඔවුනට කොළඹ අග රද ගුරු පදවියෙන් යම් විශේෂ වරප්‍රසාද හිමි වන්නේ ද යන්න අපි නොදනිමු. ඒ කෙසේ හෝ ශ්‍රී ලංකාවේ වතිකානු අපොස්තලික තානාපති බ්‍රයන් උඩග්වේ රදගුරු හිමිපාණන් එහිදී කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වතිකානුවේ ආශීර්වාදය හිමි වන බවට කළ ප්‍රකාශය සම්බන්ධ කතෝලික සභාවේ නිල ස්ථාවරය වහ වහා ප්‍රකාශ කළ යුතු ය.ඒ සඳහා සුදුසුම ආයතනය වනුයේ කතෝලික රදගුරු මණ්ඩලයයි.ඒ අනුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වතිකානු අපොස්තලික තානාපති බ්‍රයන් උඩග්වේ හිමිපාණන් කළ ප්‍රකාශය කතෝලික සභාවේ නිල අනුමැතියට යටත් වූවක් ද නො එසේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මෙහෙයවීමෙන් යුතු වෙනම ව්‍යාපෘතියක් ද යන්න පිළිබඳව දැනුවත් වීමට අපට පුලුවන.
රනිල් වික්‍රමසිංහගේ ව්‍යාපෘතියක්ද?
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් පසුගිය කාලයේ මෙරට බොහෝ දෙකුගේ අවධානයට ලක් වූයේ අප රටේ අභ්‍යන්තරික ප්‍රශ්න සම්බන්ධයෙන් යම් යම් මැදිහත් වීම් කළ බැවිනි. එහි දී ජනපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ද බරපතල විවේචන එල්ල කළ ඇය ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සාධනීය අදහස් ද පළ කොට තිබිණ. එහෙත් පසුගිය දා ජනාධිපති වරයා යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කළ අතර ඊට ඇමරිකානු තානාපතිනිය ද එක් ව හිඳිනු දක්නා ලදී. එහි දී ජනපති වරයා තානාපති වරියට වන සතුන් පෙන්වන ලද්දේ ද නැතහොත් වෙන මොනවා පෙන්වන ලද්දේ ද යන්න පිළිබඳව අපි නොදනිමු. එමෙන්ම තමන්ට දුරකතන ඇමතුමක් දුන් බව පැවසෙන "එක්තරා භක්තිමත්, මහළු කාන්තාවක" නිමිති කොට ඥානාර්ථ ප්‍රදීප කතු වරයා "කොළේ වසා ගැසූ" මඩු සිද්ධස්ථාන සිද්ධිය සම්බන්ධ කතෝලික සභාවේ සැබෑ ස්ථාවරය ජන ගත කිරීමේ වගකීමෙන් මිදෙන්නට කතෝලික රද ගුරු මණ්ඩලයට කෙසේ වත් නොහැකි බව ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු. ශ්‍රී ලංකාවේ වතිකානු අපොස්තලික තානාපති බ්‍රයන් උඩග්වේ රදගුරු හිමිපාණන් එහිදී කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වතිකානුවේ ආශීර්වාදය හිමි වන බවට කළ ප්‍රකාශය සම්බන්ධ තම පෞද්ගලික මතය ගෙන හැර දැක්වීමට කොළඹ අගරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් මාහිමිපාණන්ට ද එහි දී අවස්ථාවක් උදා කරගත හැක.


No comments:
Post a Comment