රාජපක්ෂ අඩිපාරේ යමින් රනිල් ප්‍රතික්ෂේප කළ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවෙන් ශ්‍රී ලංකාව ගැන කියන්නේ කුමක්ද?
-සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.15, ප.ව.9.10) පසුගිය 11වන සදුදා ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 54 වන සැසිවාරයට සහ කොමසාරිස් වොල්කර් ටරක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ලංකාණ්ඩුවේ ප්‍රතිචාරය පෙන්වන එක් කරුණක් නම් “මං රනිල් රාජපක්ෂ නොවේ, රනිල් වික්‍රමසිංහ” යැයි ජනාධිපති කළ ප්‍රකාශය පුස්සක් බවයි.
මානව හිමිකම් කවුන්සලය හමුවේ ශ්‍රී ලංකාව සැප්තැම්බර් 11 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනී හිමාලි අරුණතිලක කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව එම වාර්තාව සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරය සහ රාජපක්ෂ පවුල් පාලනය යටතේ දක්වන ලද ප්‍රතිචාර අතර වෙනසක් නැත.
2015 වසරෙහි රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවන්ට දක්වන ලද ප්‍රතිචාරයන්ට වඩා රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිචාරය අහසට පොළව මෙන් වෙනස්ය.
රනිල් රාජපක්ෂගේ වත්මන් අණ්ඩුව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ රාජපක්ෂ පවුලේ හොඳ හිත උඩය. එබැවින් මෙම ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවක් යැයි හැදින්වීම ද දේශපාලන වශයෙන් සහේතුකය.
මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද එම වාර්තාවෙහි අඩංඟු කරුණු මොනවාද යන්න විමසා බැලීම වැදගත් වන්නේ එම පසුබිමද තුලය. රනිල් රාජපක්ෂ ආණ්ඩුව සහමුලින්ම ප්‍රතික්ෂේප කරන ලද්දේ කුමන කරුණුද යන්න එමගින් අපට දැකගත හැකිය.
ආර්ථික ප්‍රතිසංස්කරනයන්හි බර වැඩකරන ජනයා මත පතිත නොකළ යුතුයි..
වාර්තාව ඉතාම පැහැදිළිව ආර්ථික ප්‍රතිසංස්කරනයන්හි බර සමස්තයක් ලෙස වැඩකරන ජනයා මත පතිත නොකළ යුතු බව කියන්නේ මෙසේය:
“ශ්‍රී ලංකාව තවමත් දුෂ්කර ආර්ථික, සමාජීය සහ දේශපාලන තත්ත්වයකට මුහුණ දෙමින් සිටී. ආර්ථික අර්බුදය බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල මූල්‍ය සහය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ආර්ථික අර්බුදය පාලනය කිරීමට වැදගත් පියවර වන නමුත් ප්‍රතිසංස්කරණවල බර සමාජයේ සමහර කොටස් මත අසමාන ලෙස නොවැටීම අත්‍යවශ්‍ය වේ.
ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයේ සෘණාත්මක කාන්දුවීම්වලින් වඩාත් අවදානමට ලක්විය හැකි අයට රැකවරණය සැලසීමට ශක්තිමත් ආරක්‍ෂිත දැල් සහ සමාජ ආරක්‍ෂාව අවශ්‍ය වේ. දූෂණය, බලය මධ්‍යගත කිරීම, පාරදෘශ්‍යභාවය සහ ආයතනික තුලන සහ සංවරණ නොමැතිකම සහ වගවීම ඇතුළු ගැටුමේ නොවිසඳුණු උරුමය ඇතුළු අර්බුදයේ යටින් පවතින සාධක ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය වේ.”
මහ කොමසාරිස්වරයා ඉතාම පැහැදිලිව ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට සහය වන ලෙස අන්තර් ජාතික ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ මෙලෙසය:
“පාලනය, විනිවිදභාවය සහ වගවීම පිළිබඳ සැබෑ ප්‍රගතිය සඳහා බලපෑම් කරන අතරම, ජාත්‍යන්තර සහයෝගීතාවය සහ සහාය පිළිබඳ බැඳීම්වලට අනුකූලව, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා අඛණ්ඩව සහාය දෙන ලෙස මහ කොමසාරිස්වරයා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.”
රනිල් හදන්නේ සමාජ සම්මුතියක් නොව සමාජ ගැටුමක්...
එමෙන්ම වාර්තාව අවධාරණය කරන්නේ පුළුල් සමාජ සම්මුතියකින් තොරව කරනු ලබන ප්‍රතිසංස්කරණ දිගුකල් නොපවතින බවයි. රනිල් රාජපක්ෂ ගොඩ නගමින් සිටින්නේ සමාජ සම්මුතියක් නොව සමාජ ගැටුමකි.
"විසඳුම් දිගු කල් පවතිනු ඇත්තේ සමස්ත සමාජයෙන් සහයෝගය ලබා දෙන්නේ නම් පමණි. අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවට බලපාන ඓතිහාසික ආයතනික අභියෝග යන දෙකටම දැවැන්ත දේශපාලන ප්‍රාග්ධනයක්, පුළුල් සම්මුතියක් සහ සමාජයේ විශ්වාසයක් අවශ්‍ය වේ."
මෙරට දේශපාලන උනන්දුවක් ඇති සෑම දෙනෙකුම දන්නා දෙයක් වන්නේ දේශපාලන පංතියට, ජාවාරම්කාර ධනකුවේරයන්ට සහ අනීතික යුද සහ පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන බවයි.
වාර්තාව හරියටම නිවැරදි තැනින්...
මහ කොමසාරිස්වරයාගේ වාර්තාව හරියටම නිවැරදි තැනින් මෙරට හීෂණයේ සහ දූෂනයේ මූලික හේතුව සටහන් කරන්නේ මෙලෛසය:
“සෑම තරාතිරමකම වගවීම නොමැතිකම මූලික මානව හිමිකම් ගැටලුව ලෙස පවතී. එය යුද අපරාධ ම්ලේච්ඡ ක්‍රියා, පශ්චාත් යුධ සංකේතාත්මක නඩු, වධහිංසා සහ පොලිස් අත්අඩංගුවේ සිදුවන මරණ, විරෝධතා පාලනය කිරීමේලා බලය අනිසි ලෙස භාවිතා කිරීම යනාදි කවරක් සම්බන්ධයෙන් වුව සැබෑය.
“ශ්‍රී ලංකාව අසාමාන්‍ය ලෙස වගවීම පිලිබඳ හිඟයකින් පෙළෙන අතර එයට ආමන්ත්‍රණය නොකළහොත් රට තවත් පසුපසට ඇද දැමෙනු ඇත. මහ කොමසාරිස්වරයා රජයෙන් සහ ශ්‍රී ලංකා දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය අලුත් කිරීම්, ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ සහ වගවීම, ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රත්‍යක්ෂ ප්‍රගතිය සඳහා වෙහෙසෙන ලෙසයි.”
රාජපක්ෂ පවුලේ ආණ්ඩුව 2012 වසරෙහි සිට මෙම යෝජනා ප්‍රතික්ෂේප කළ අතර දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව කරන්නේ ද එයමය.
රනිල් වික්‍රමසිංහ කොටස්කරුවකු වු ජේආර් ජයවර්ධන ආණ්ඩුව මුදාහල කළු ජූලියේ 40 වන සංවත්සරය ගැන වාර්තාව මෙසේ කියයි:
“පසුගිය ජූලි මාසයේදී "කළු ජූලියේ" 40 වැනි සංවත්සරය ද සනිටුහන් විය, 1983 දී කොළඹ දෙමළ විරෝධී සංහාරයන් සිය ගණනක් මරා දැමූ සහ දහස් ගණනක් නිවාස අහිමි වූ, වාර්ගික බෙදීම දරුණු ලෙස විශාල කරමින් කලු ජූලිය ශ්‍රී ලංකාව නිර්වචනය වූ ඊළඟ දශක තුන පුරා පැවැති සන්නද්ධ ගැටුමේ වාතාවරණය සැකසීමට හේතු විය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරිපත් කර ඇති පරිදි බලය බෙදීම සඳහා සහ සත්‍ය සෙවීම සහ වෙනත් දේශපාලන විසඳුම් තුළින් දෙමළ දේශපාලන පක්ෂ සහ ඩයස්පෝරා කණ්ඩායම් සමඟ සංවාද කිරීමට සහ ප්‍රතිසන්ධාන විකල්ප ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වාර්තාව සාදරයෙන් පිළිගනී.
ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට යටත් ව්‍යාජ සත්‍ය කොමිසමක් වැඩක් නෑ..
එසේ නමුත් වාර්තාව පෙන්වා දෙන්නේ ව්‍යාජ සහ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට යටත් සත්‍ය කොමිසමක් වැඩකට නැති බවයි.
“කෙසේ වෙතත්, වගවීම ඕනෑම අව්‍යාජ ප්‍රතිසන්ධාන න්‍යාය පත්‍රයක තීරනාත්මක අංගයක් ලෙස පවතින අතර සත්‍ය කොමිසමක් ඇතුළු ඕනෑම නව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාමාර්ගයක් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය. වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අපේක්ෂාවන්ට කල්පවත්නා විසඳුම් ලබා දිය යුතුය.”
සත්‍ය කොමිසමේ කාර්යාලය දැනටමත් පිහිටුවා ඇත්තේ ජනාධිපති කාර්යාලයේය. එවැනි මූලිකත්වයක් කිසි විටෙක සත්‍ය කොමිසමක් නොවනු ඇත.
විශ්ව අධිකරණ බලය භාවිතා කිරීමට රටවල් 39 ක්...
එබැවින් වාර්තාව මෙසේ සඳහන් කරයි:
“ අතීත උල්ලංඝනයන් පිළිගෙන විශ්වාසනීය විමර්ශන සහ නඩු පැවරීම් සිදු කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ වගකීමකි. ඒ අතරම, ජාත්‍යන්තර ප්‍රජාවට වැදගත් අනුපූරක කාර්යභාරයක් ඉටු කළ හැකිය. ශ්‍රී ලංකාවට අදාළ අපරාධ යුක්තිය පිළිබඳ පරීක්ෂණ සහ නඩු පැවරීම් සම්බන්ධයෙන් විශ්ව අධිකරණ බලය භාවිතා කිරීම සහ බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව සුදුසු ඉලක්කගත සම්බාධක සලකා බැලීම අන්තර් ජාතික ප්‍රජාවට කළ හැකිය.”
වාර්තාව කියා සිටින්නේ දැනටමත් එවැනි අන්තර් ජාතික පියවර ගැනීමට සම්බන්ධයෙන් රටවල් 39කට තොරතුරු ලබා දී ඇති බවයි.
මෙම වාර්තාව හුදෙක් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වලට සීමා නොවී ආර්ථික සමාජ සහ සංස්කෘතික යන ක්ෂේත්‍රයද ආවරණය කරයි. විශේෂයෙන්ම අන්තර් ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන මගින් ලබා දෙන ආධාර නිසා වැඩ කරන සහ පීඩිත ජනයා මත පතිත විය හැකි දුෂ්කරතා වාර්තාව පිළිගනී. එමෙන්ම එම කාරණා සම්බන්ධයෙන් ගත යුතු පියවර ද එය යෝජනා කරයි.
-සුනන්ද දේශප්‍රිය
https://www.lankaenews.com/category/17

No comments:
Post a Comment