Friday, 15 September 2023

ලංකාවේ මහ දවල් කළ අලුත්ම අලුත් මහා මංකොල්ලය ගැන ඔබ දන්නවා ද?

-ශාන්ත ජයරත්න විග්‍රහ කරයි

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.15, ප.ව.11.30) පසුගිය කාලයේ සමහරුන් කිව්වේ ලංකාවේ මහ දවල්  සිදුවූ මහා මංකොල්ලය මහ බැංකුවේ අප්‍රසිද්ධව සිදුකළ  භාණ්ඩාගාර  බැඳුම්කර කොල්ලය කියලයි. විගණකාධිපති වරයාද එදා කෝප් කමිටුවේදී සඳහන් කළේ මෙම හොරකමින් දල වශයෙන් රුපියල් බිලියන 1.6 ක් පමණ දිගුකාලීනව රටට අහිමි වන බවකි.  https://www.colombotelegraph.com/index.php/auditor-general-confirms-country-lost-rs-1-6-billion-due-to-bond-scam-cope-report-out-this-month/

තවත් සමහරුන් ප්‍රකාශ කළේ රුපියල් බිලියන 8.7 ක් රජයට අහිමි වූ බවයි. වෙරිටේ රිසච් පර්යේෂණ ආයතනය (Verite Research) කියන්නේ ඩොලර් බිලියන 0.9 ක් අහිමි වූ බවකි. https://www.veriteresearch.org/wp-content/uploads/2018/05/VR-Insight_Central-Bank_s-30-yr-Bond-Debacle-What-is-the-Loss_-1.pdf

අද ඔඩොක්කු කුක්කන්..

කෙසේ වෙතත්, වැදගත්ම දේ ඒ කොල්ලයට සම්බන්ධ බවට ප්‍රධාන චෝදනාව එදා එල්ල වූයේ වත්මන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ අතිජාත මිත්‍ර එවකට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ය.

මහේන්ද්‍රන් දැන් සිංගප්පූරුවේ සැඟවී සිටින බව රනිල් වික්‍රමසිංහ හැර ලංකාවේ අනෙක් හැමෝම හොඳින් දන්නා ප්‍රසිද්ධ රහසකි. එදා රනිල් වික්‍රමසිංහ දඬුකදේ ගසන තුරු නින්ද නොයන බව කියූ මහින්ද  රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා, දිනේෂ් ගුණවර්ධනලා, බන්දුල ගුණවර්ධනලා, මහින්දානන්දලා, රත්තරංල අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ ඔඩොක්කු කුක්කන් බවට පත් වීම දෛවයේ සරදමකි. එදා පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ හිරේ දමන තුරු නින්ද නොයන බව කියූ මහින්දානන්ද අද රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීමට රැය පහන් කරනු දැකීම කෙතරම් අපූරුද? ඒ ලංකාවේ දේශපාලනයේ ස්වභාවය යි. සම හරක්ට මෙය තවම නොතේරේ. නැත්නම් ඔවුන්ට එය  තේරුම් ගැනීමට අවශ්‍ය නැත.

ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුකළ මහාම මහා මංකොල්ලය..

ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුකළ මහාම මහා මංකොල්ලය ඔබ තවම නොදන්නවා ඇති. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් කළ අර්ථසාධක අරමුදල් මංකොල්ලයයි. History Repeats කියනවා වගේ මේ මංකොල්ලයටත් වගඋත්තර කරුවන් වන්නේ රනිල් වික්‍රමසිංහ සහ එදා අර්ජුන මහේන්ද්‍රන්ගේ දෙවැනියා වෙච්ච අද IMF නියෝජිත (සමහරු කියන ආකාරයට) ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ වීම අහම්බයක් නොවෙයි. එදා ඔබලාට නොදැනෙන්න කල බැඳුම්කර හොරකම හෙළිදරව් වන්නේ කාලයක් ගත වීමෙන් පසුවයි. එහෙත් මෙදා ඔවුන් හොරකම කලේ  පාර්ලිමේන්තුවේ කැමැත්ත අරගෙන යි.

මෙදා සැරේ "මම ඌරාගේ මාලු ඌරාගේ ඇඟේම තියා කපා ගත්තා"

රනිල් වික්‍රමසිංහ කවදාවත් එකම හොරකම එකම විදිහට දෙවතාවක් නොකරයි . ඒ ඔහුගේ ක්‍රමයයි. එදා රනිල් වික්‍රමසිංහ දඬුකඳේ ගැසීමට කතා කල රාජපක්ෂලාගේ එහෙයි නඩය මෙදා බැඳුමකර හොරකම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කර දෙන්නේ කිසිදු හිරිකිතයකින් තොරව වීම විශේෂ ය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මත වූ විට රනිල් වික්‍රමසිංහට දෙකොනින්ම හිනා යන්නට ඇත. මෙදා සැරේ "මම ඌරාගේ මාලු ඌරාගේ ඇඟේම තියා කපා ගත්තා" කියා ඔහුට බොහෝ විට හිතෙන්නට ඇත.

මෙම බැඳුම්කර හොරකම සිදු කිරීම සඳහා නන්දලාල් වීරසිංහ සහ රනිල් වික්‍රමසිංහට එතරම් මහන්සියක් අවශ්‍ය නොවීය. මෙයින් සිදුවූයේ හඬක් හෝ හරි හමන් අවබෝධයක් නොමැති මිලියන 2.4 ක් වන කම්කරුවන්ට අයත් ඔවුන්ගේ විශ්‍රාම අරමුදල වන සේවක  අර්ථසාධක අරමුදලේ රුපියල් ට්‍රිලියන 3.2 ක් (රුපියල් බිලියන 3200 ක්) හෙවත් ඩොලර් බිලියන 10 ක් පසුගිය අඟහරුවාදා, මහ දවල් මංකොල්ල කෑමයි. සේවක අර්ථසාධක අරමුදලට අහිමි වන මුදල පිළිබඳ තොරතුරු සඳහා මේ ලිපිය බලන්න. https://www.bloomberg.com/news/articles/2023-09-12/sri-lanka-gets-closer-to-imf-funds-with-local-bond-swap-deal?srnd=null#xj4y7vzkg

සම හරක් නිර්වින්දනය වෙලා..

මෙය ලෝකයේ මෙතෙක් සිදුවූ විශාලතම විශ්‍රාම අරමුදල් මංකොල්ලයයි. ලංකාවේ  මිනිසුන්ට මෙය නොතේරීම සාමාන්‍යයි. ලංකාවේ සම හරක් මිනිසුන් මේ වන විට නිර්වින්දනය වී ඇත. නැත්නම් ස්වයංව වින්දනයට පත්වී ඇත. (ඔවුන් පුරවැසියන් නොවේ. මන්ද පුරවැසියෙකුට පුරවැසි වගකීමක් වගේම වගවීමක්ද ඇත. සම හරක්ට ඒ දෙකම නැත) ඔවුන් හොරකම අනුමත කරන්නන් වන අතර හොරකමට විරුද්ධ වන්නන් ඔවුන්ට පේන්නේ ද්‍රෝහීන් ලෙසය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සොච්චම් ඩොලර් බිලියන 2.9 ක්, ණයක් හැටියට 5%-6% වාර්ෂික පොලියකට වාරික අටකින් වසර හතරක් තුල ලබා දීමට එකඟ වී ඇත. එක් වාරිකයක් ඩොලර් මිලියන 333 කි. වසරකට මෙවැනි වාරික දෙකක් ලැබේ.  එහෙත් , මැදපෙරදිග සේවය කරන කම්කරුවන්  මසකට ඩොලර් මිලියන 400-450 ත් අතර ප්‍රේශන ලංකාවට එවන බව බොහෝ අය නොදනී. රජය නිවැරැදි වැඩපිළිවෙළක් අනුගමනය කරන්නේ නම් ඩොලර් මිලියන 700-800 අතර ප්‍රමාණයකට එය ඉහළ දා ගත හැක.

රටේ 80% ක් මිනිසුන්ගේ මිල දී ගැණීමේ හැකියාව 60% කින් කඩා වැටිලා... ජනගහනයෙන් තුනෙන් එකක් අන්ත දරිද්‍රතාවයේ..

ලංකාවේ පාලකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක් ලබා ගැනීම සඳහා මේ වන විට රටේ ජනයාට අත් කර දී තිබෙන දුක, කනගාටුව, මානසික පීඩාව කොපමණද කියා අමුතුවෙන් ඔබට කිව යුතු නැත. රටේ තෙල් පෝලිම් , ගෑස් පොලිම් නොපෙණුනාට, උද්ධමනය 4% ට අඩු වුනාට රටේ 80% ක් මිනිසුන්ගේ මිල දී ගැණීමේ හැකියාව (Purchasing Power) 60% කින් පමණ කඩා වැටී ඇත. ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආදායම වැඩි වී නැත. සම හරක්ට එය දැණුනද  මේ නරාවලේම ලැගීම සතුටක් ලෙස ඔවුන් සලකති. ඉන් මිදීමට මාර්ගය කොතෙක් පෙන්වුවද ඔවුන්ට එය නොපෙනෙයි. නොපෙනෙනවා සේ හැසිරෙති.

එක අතකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රටේ වැඩකරන කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදලින් 2038 දක්වා ඉදිරි වසර15 ක් පුරාවට රුපියල් ට්‍රිලියන 3.2 කට වැඩි මුදලක් කොල්ල කන අතර අනෙක් අතට අසීමිත බදු බරක් ජනයා මත පැටවීම හේතුවෙන් මිලියන 7 ක් ජනයා අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙති. පසුගිය දා නිකුත් වූ ලෝක බැංකු නවතම වාර්තාවක පෙන්වා දී ඇති අන්දමට මෙම තත්ත්වය දිගටම පැව්තීම තුල විශාල සමාජ අර්බුදයක් කරා රට තල්ලු වනු ඇත. ලංකාවේ පර්යේෂන ආයතනයක් වන ලර්න් ඒෂියා (LIRNEasia) මෑතක පලකළ පර්යේෂන පත්‍රිකාවක මෙය තවත් තහවුරු කොට ඇත.

වැඩ කරන මිනිහාට පමණක් 'අම්මට සිරි' බදු ගහන හැටි..

සේවක අර්ථසාධක අරමුදලේ දල ආදායම මත (Gross Income) 14% ක ආදායම් බද්දක් අයකිරීම ආරම්භ වන්නේ 2017 දී යහපාලන රජය සමයේය. කෙසේ වෙතත්, 1956 බණ්ඩාරනායක රජයේ කම්කරු ඇමැති ටී. බී ඉලංගරත්න මහතා ඉදිරිපත් කළ 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් මුල් පනතින් විශ්‍රාම අරමුදල් ආදායම් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කොට තිබුණි. එහෙත් එජාපය දෙවතාවකදී මෙසේ සේවක අර්ථසාධක අරමුදලේ ආදායමින් බදු වශයෙන් විශාල මුදලක් ලබා ගෙන ඇත. එය අදටත් ක්‍රියාත්මක යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රුපියල් ට්‍රිලියන 3.2 ක් අරමුදලේ ආදායම් කපාගැනීම සිදුවන්නේ බද්දට අමතරව ය. එමෙන්ම, සාමාජිකයකු විශ්‍රාම යන විට ලැබෙන විශ්‍රාම පාරිතෝෂිකය රුපියල් 1000,000 වැඩි වන්නේ නම් 10% ක රඳවා ගැනීමේ බද්දක් අයකර ගැනීමක්ද සිදුවෙනවා. මීට අමතරව වෙනත් බැංකු සහ සමාගම් බදු ගෙවන්නේ ඔවුන්ගේ ශුද්ධ ආදායමටය (Net Income). එහෙත් සේවක අර්ථසාධක අරමුදලෙන් බදු ගන්නේ දල ආදායමටයි (Gross Income ).

මිටි තැනින් වතුර බැස යන්නේ එලෙසය...

පසුගිය සතියේ  නිකුත් කළ බැඳුම්කර වලට පවා ආසන්න වශයෙන් 18% ක පොලියක් හිමිවිය. සමහර මාස වල නිකුත් කළ බැඳුම්කර සඳහා 22%-24% මට්ටමක ඉහළ පොලියක් ගෙවීමට මහා භාණ්ඩාගාරය එකඟ වී තිබුණි. බැඳුම්කර ගැණුම් කරුවන්ට ඉහළ පොලී අනුපාත ලැබුණත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයාට ලැබෙන්නේ උපරිම 9% කි. මෙය 9% ට වඩා අඩුවීමට වුවද ඉඩ තිබෙන බව මහ බැංකු අධිපති වරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී  ප්‍රකාශ කළේය.

මේ සියල්ලෙන් පෙනී යන පොදු කාරණය වන්නේ හඬක් නැති සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් වන රටේ කම්කරු ජනතාවට මේ පාලකයන්ගේ පව් සියල්ලටම කරගැසීමට සිදුව ඇති බවකි. බලය හිමි ප්‍රාථමික ගැණුම්කරුවන් , බැඳුම්කර මිල දී ගෙන ඇති මහාපරිමාණ ව්‍යාපාරිකයන් සහ බැංකු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බේරි ඇත. ලංකාවේ මිටි තැනින් වතුර බැස යන්නේ එලෙසය. එහෙත්, පාලකයන්ගේ මෙවැනි කූඨ , කොල්ලකාරි පාලනයේ ආදිනව දැනී ඊට විරුද්ධව ජනයා නැගිටින දිනය වැඩි ඈතක නොවන බව කිව යුතුය.

-ශාන්ත ජයරත්න

සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment