ගෙයි ඇතුළේ දී මිනිහෙකුට ගහලා මැරූ බන්දුලයා මිනිය අල්ලපු වත්තේ ගහක එල්ලලා...!
-දි අයිලන්ඩ් කතුවැකියක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.15, ප.ව.8.10) දේශපාලනයේ දී හා යුද්ධයේ දී සෑම දෙයක්ම ආයුධයක් කර ගන්නා අතර මළ මිනී පවා අත හරින්නේ නැත.
වර්තමානයේ සිදු වන ජීව විද්‍යාත්මක යුද්ධ මේ තරම් දියුණු තත්ත්වයකට පත් වීමට බොහෝ කලකට පෙර, මොන්ගෝලියානු රණශූර-පාලකයෙකු වූ, ජෙන්ගිස් ඛාන්, හමුදා ආයුධයක් ලෙස බෝ වන රෝගකාරක භාවිතා කළේය. ඉතිහාස වාර්තාවලින් හෙළිදරව් වන පරිදි, ඔහුගේ හමුදාව විසින් වටලන ලද බලකොටු තුළට කුණු වූ මළ සිරුරුවලින් දමා ගැසීම නිසා ඔහුගේ සතුරන් අතර රෝග පැතිර ගොස් තිබේ. සමහර ඉතිහාසඥයන් අපට කියන්නේ ඔහු කළ වැඩේ ඵලදායී වූ බවයි.
දේශපාලන අවියක් ලෙස මළ සිරුරු භාවිතාව..
ඉන් ශත වර්ෂ ගණනාවකට පසුව, දේශපාලන අවියක් ලෙස ඉතා ඵලදායි ලෙස මළ සිරුරු භාවිතා කිරීමේ ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ගේ භාවිතාව දිගටම සිදු වෙමින් පවතී.
1970 ගණන්වල, ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් පෙරමුණු ආණ්ඩුව ජවිපෙට එරෙහිව ගෙන ගිය ත්‍රස්ත මර්දන මෙහෙයුම් අතරතුර සිදු වූ ප්‍රේමවතී මනම්පේරි නම් තරුණිය අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ මහජන කෝපයෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ යූඑන්පියයි. එදා යූඑන්පී නායකයෝ මැතිවරණ රැස්වීම්වල දී වින්දිතයා වෙනුවෙන් කඳුළු හෙළූ අතර මහජන මතය ශ්‍රීලනිපයට එරෙහිව හැරවීමට සමත් වූහ.
ඒ යූඑන්පියම ඉන් දශකයකට පමණ පසු ජේවීපී දෙවැනි කැරැල්ල ඉතාමත් ම්ලේච්ඡ අන්දමින් මැඩලීය. විකෘති කළ හා අඩක් පිළිස්සූ මළ සිරුරු පාරවල් දිගේ දැකිය හැකි විය. ඒ පිළිස්සුණු මළ මිනී විකුණමින් ශ්‍රීලනිපය යළි ජනතා සහයෝගය ලබා ගෙන 1994 දී නැවත ගොඩ ආවේය.
දැන් දැන් ගැටුම් නොවන අවස්ථාවල දී මළ අයගේ මිනී පවා දේශපාලයන් අත හරින්නේ නැත.
සිය දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් පසු ඔවුන් වෙනුවෙන් හඬා වැටුණු දේශපාලකයන්ට ඒ මළවුන් අමතක වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු වෙනස් වුව ද අපරාධ නොවිසඳී පවතී.
දුම්රියකින් වැටී මිය ගිය උපාධි අපේක්ෂකයාගේ මළ සිරුර..
පසු ගිය දුම්රිය වර්ජනය අතරතුර තදබදයෙන් පිරුණු දුම්රියකින් වැටී උපාධි අපේක්ෂකයෙකු මිය ගියේය. බන්දුල ගුණවර්ධන කැබිනට් ප්‍රකාශක හා ප්‍රවාහන අමාත්‍යකාරයා විසින් එය යොදා ගන්නා ලද්දේ, වර්ජනය කරන දුම්රිය එන්ජින් රියැදුරන්ට මඩ ගැසීම සඳහාය. තරුණයාගේ මරණයේ සම්පූර්ණ වගකීම වර්ජකයින් විසින් භාර ගත යුතු යයි කැබිනට් රැස්වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු පැවසීය.
උසුලා ගත නොහැකි ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳිමින් සිටින මහජනතාවගේ පීඩාව තවත් උග්‍ර කරන කිසිදු වැඩ වර්ජනයකට සහයෝගය දැක්වීමට කෙනෙකු ඉදිරිපත් විය නොහැක.
අවාසනාවන්ත තරුණයාගේ පවුල වෙත අපි ශෝකය පළ කරන්නෙමු.
ජාතියේ හෘද සාක්ෂිය කම්පා කළ ඔහුගේ ඛේදනීය මරණය දේශපාලනීකරණය නොකළ යුතුය. බන්දුල ගුණවර්ධන අමාත්‍යකාරයා සහ දුම්රිය ඉහළ නිලධාරීන් මහජනතාවගේ බුද්ධියට අපහාස කිරීමෙන් වැළකිය යුතුයි.
දුම්රිය ක්‍ෂේත්‍රයේ කම්කරු ප්‍රශ්න විසඳීම මගින් වර්ජන වැළැක්වීමට ඔවුන් අසමත් වීම වසා ගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත. දුම්රිය වර්ජනවල දී අතරමං වන මගීන්ගේ දුක් වේදනාවලට ද ඔවුන් වග කිව යුතුය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතයෙන් වූ මරණ වලට කෙහෙළිය වග නොකියන්නේ ඇයි?
උපාධි අපේක්ෂකයාගේ මාරාන්තික ඇද වැටීමට වර්ජිත දුම්රිය සේවකයින් වග කිව යුතු නම්, රජයේ රෝහල්වල ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය හේතුවෙන් සිදු වූ මරණවලට සෞඛ්‍ය අමාත්‍යකාරයා සහ උගේ නිලධාරීන් වග නොකියන්නේ මන්දැයි කැබිනට් ප්‍රකාශකයා පැහැදිලි කරන්නේ ද? පසු ගිය දා කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යකාරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගයට විරුද්ධව බන්දුල ගුණවර්ධන ඡන්දය දුන්නා නේ ද?
එතකොට, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල දී නැති වෙන ජීවිතවලට වග කියන්න ඕනෑ කවුරුන් ද?
නවතම දුම්රිය වැඩ වර්ජනය වැළැක්වීමට ප්‍රවාහන අමාත්‍යකාරයා සහ ඔහුගේ නිලධාරීන් කිසිවක් කර නැති බවට චෝදනා එල්ල වේ. විරෝධතාවයේ නිරත කම්කරුවන්ගේ දුක්ගැනවිලිවලට විසඳුම් ලබා දුන්නේ නම්, ඔවුන් වැඩ වර්ජනයකට තල්ලු නොවනු ඇත.
එසේ නම්, ගැටළුව වන්නේ උපාධි අපේක්ෂකයාගේ ප්‍රශ්න ගත මරණයේ වගකීම ඇමති ගුණවර්ධන සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ මහ උන් භාර නොගන්නේ මන්ද යන්නයි.
මේ මරණ වලට ප්‍රවාහන ඇමැති වග නොකිවයුතු ද?
එපමණක් ද නොව, වර්ජන නොමැති විට පවා පිරී ඉතිරී යන දුම්රියවල අනතුරුදායක ලෙස ගමන් කරන මගීන්ගෙන් සමහරෙකුට ජීවිත අහිමි වේ. මෙවැනි ඛේදනීය මරණවලට ප්‍රවාහන අමාත්‍යකාරයා වග කිව යුතු නොවේ ද?
වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවීම් රැසක් සිදු වී ඇති අතර මහජනතාවට දරා ගත නොහැකි පීඩා ඇති කර තිබේ. ඇතැම් පුද්ගලයන් මිය ගියේ ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට දිගු පෝලිම්වල රැඳී සිටිය දීය. ඖෂධ නැතිකම නිසා රෝගීහු මිය යති. මෙම අවාසනාවන්ත තත්ත්වය පටන් ගත්තේ ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව යටතේ සිදු වූ ආර්ථික අවභාවිතය සහ ඉහවහා ගිය දූෂණය වැනි කාරණාවලිනි.
එසේ නම්, වත්මන් ආණ්ඩුවේ අමාත්‍යකාරයන් ලෙස කටයුතු කර ප්‍රතිලාභ රැසක් භුක්ති විඳි සියලු දෙනාම රටේ පවතින අවුලට වග කිව යුතු යයි කැබිනට් ප්‍රකාශකයා සිතන්නේ නැද්ද?
- 2023 සැප්තැම්බර් 14 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “Cadaverous politics” නම් කතු වැකිය සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment