Thursday, 14 September 2023

ගැබොන් රාජ්‍යයේ බොන්ගෝලාට වූ දේ ලංකාවේ රාජපක්ෂලාටත් වෙයිද..?

-ICIJ විමර්ශන වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද 

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.14, ප.ව.9.00) පැන්ඩෝරා පත්‍රිකා සහ තවත් පරීක්ෂණ කිහිපයකින් හෙළි වූ පරිදි, ගැබොන් රාජ්‍යය තුළ මෙන්ම පිටරටවල ද අතිවිශාල ධනස්කන්ධයක් රැස් කර ගත්, අඩ සියවසකට අධික කාලයක් පුරා නොබිඳුණු රාජවංශ පාලනයක් ගෙන ගිය බොන්ගෝ පවුලේ ගමන එරට සිදු වූ රාජ්‍ය කුමන්ත්‍රණයක් මගින් නතර කර තිබේ.

ගැබොන් රාජ්‍යයේ බොන්ගෝ පවුල වසර 56 ක් පුරා දූෂිත-අනීතික (kleptocracy) අන්දමින් රට පාලනය කිරීමෙන් පොහොසත් වූ අතර, ඔවුන්ගේ ධනය ලොව පුරා ව්‍යාප්ත විය.

පසු ගිය බදාදා (30) මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයේ බලය සොල්දාදුවන් විසින් අත්පත් කර ගත්තේ, රෝගාතුරව සිටින අලි බොන්ගෝ ජනාධිපතිකාරයා මතභේදාත්මක මැතිවරණයකින් පසු එහි ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසුවය.

බොන්ගෝ ජයග්‍රහණය කළ තෙවැනි ජනාධිපති මැතිවරණය එය විය. මින් පෙර 2009 සහ 2016 දී පැවැති මැතිවරණ ප්‍රචණ්ඩත්වය සහ ඡන්ද මංකොල්ලකෑම් පිළිබඳ චෝදනාවලින් ජරාජීර්ණ විය.

බොන්ගෝ නිවාස අඩස්සියේ...

බොන්ගෝ නිවාස අඩස්සියේ තබා ඇති අතර, ඔහුගේ ලන්ඩනයේ ඊටන් කොලීජියේ අධ්‍යාපනය ලද පුතා වන නූරෙඩින් බොන්ගෝ වැලන්ටින් ඇතුළු සමීපතමයන් කිහිප දෙනෙකු රාජද්‍රෝහීත්වය, වංචා හා දූෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. එම චෝදනා පිළිබඳ විස්තර අපැහැදිලි නමුත් බොන්ගෝගේ රාජ්‍ය පාලනය එය පැවැති කාලය පුරාවටම අතිදූෂිත-අනීතික පාලනයක් ලෙස විශේෂඥයින් සහ උපදේශන කණ්ඩායම් විසින් නම් කර ඇත.

එක් කාලයක සංගීතඥයෙකු වූ අලි බොංගෝ 2009 දී බලයට පත් වූයේ, ඔහුගේ පියා වූ, යටත් විජිත ප්‍රංශයට ගැතිව සිටි, ගැබොනයේ තෙල් සල්ලි භාවිතා කර කූටාලි ජාලයක් නිර්මාණය කරමින් වසර 42 ක් පුරා අන්තනෝමතිකව රට පාලනය කළ ඕමාර් බොන්ගෝගේ අභාවයෙන් පසුවය.

තාත්තා හා පුතා අතිවිශාල ධනයක් එක්රැස් කර ගත්තා..

කැබිනට් තනතුරු වැනි හොඳම පත්වීම්වලට විශ්වාසවන්ත පවුලේ සාමාජිකයන් පත් කරමින්, මිලියන 2.3 ක කුඩා ජනගහනයක් පාලනය කළ තාත්තා හා පුතා අතිවිශාල ධනයක් එක්රැස් කර ගත්හ.

තෙල්වලින් පොහොසත් ගැබොන් රාජ්‍යය මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස අර්ථ දැක්වුව ද, අවම වශයෙන් ජනගහනයෙන් තුනෙන් එකක් අතිශය දිළිඳුය; රට විරැකියාවෙන් පිරී තිබේ. ලෝක බැංකුවට අනුව, 2020 දී රටේ අපනයනවලින් 70% ක් පමණ වූ තෙල් සම්පත මගින් මධ්‍යම පන්තිය වර්ධනය කිරීමට සහ ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට ගත් උත්සාහය සීමිත සාර්ථකත්වයක් ලබා ඇත.

කඩා වැටෙන ආර්ථිකය, ජීවන වියදම ඉහළ යෑම, සහ වර්ධනය වන සමාජ අසමානතාවය මධ්‍යයේ, බොන්ගෝ ජනාධිපතිකාරයා හා සම්බන්ධ කුඩා ප්‍රභූ පැලැන්තියක් සහ ඔහුගේ අභ්‍යන්තර කවය තර වීමත් සමග ඔවුන් හා ජනතාව අතර ඇති-නැති පරතරය වැඩි වීම මහජන කෝපයට ‍හේතු විය.

“බොංගෝ ක්‍රමය”

රටේ තෙල් නල මාර්ගවල සැතපුම් ගණනටත් වඩා අඩු පාරවල් සහිත රටක සුඛෝපභෝගී මෝටර් රථ සමූහයක් නඩත්තු කරමින් ද එක්සත් ජනපදයේ සහ ප්‍රංශයේ මන්දිර මිල දී ගනිමින් ද බොන්ගෝලා අප්‍රිකාවේ ධනවත්ම පළමු පවුල ලෙස ඔවුන්ගේ තත්ත්වය ලෝකයට ප්‍රකට කළේය. “බොංගෝ ක්‍රමය” (Bongo system) යන ජනප්‍රිය යෙදුම පැමිණියේ මෙම අසීමිත ධනස්කන්ධය විස්තර කිරීම සඳහාය.

බොන්ගෝ පවුල විසින් සැලකිය යුතු ධනස්කන්ධයක් එතෙර බදු තෝතැනිවල තැන්පත් කර තිබේ. 2021 දී ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (ICIJ) විසින් සිදු කළ “පැන්ඩෝරා පේපර්” විමර්ශනයක් මගින් අලි බොන්ගෝගේ එතෙර වත්කම් පිළිබඳ පොඩි අදහසක් ලබා දුන් අතර, ඔහු බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල (BVI) එක් ෂෙල් සමාගමක අධ්‍යක්ෂවරයා බවත් ඔහු‍ගේ දේශපාලන සහකරුවන් දෙදෙනෙකු සමග තවත් BVI සමාගමක ව්‍යාපාර වස්තු ඔහුට ඇති බවත් හෙළිදරව් විය.

බොන්ගෝ, ගැබොන් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යකාරයාව සිටි 2008 වසරේ යවන ලද ඊමේලයකින් අනාවරණය වන පරිදි, ඔහු Gazeebo Investments Ltd සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වන අතර, ඔහු "සිවිල් සේවකයෙකු" ලෙස හඳුන්වා තිබේ. ඔහුගේ එක් සහචරයෙකු වන, 2009 දී දූෂණ වංචාවක් හේතුවෙන් ඉල්ලා අස්වන තෙක් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූ ජීන්-පියරේ ඔයිබාට චෝදනා ඉදිරිපත් නොවූ නමුත් කළ වැරදි ප්‍රතික්ෂේප කර නැත. 1989 දී අලි බොන්ගෝ සමග විවාහ වූ සිල්වියා බොන්ගෝ ඔන්ඩිම්බා නමැත්තිය සමග කලින් විවාහ වී සිටි දේශපාලකයෙකු වන ක්ලෝඩ් සෙසලරි අනිත් සහචරයාය.

විමර්ශනය සිදු වෙමින් පැවැති අවස්ථාවේ අදහස් දැක්වීම සඳහා ICIJ විසින් නැවත නැවතත් කරන ලද ඉල්ලීම්වලට බොන්ගෝගේ මාධ්‍ය ඒකකය ප්‍රතිචාර දැක්වූයේ නැත.

ධනස්කන්ධයෙන් වැඩි ප්‍රමාණයක් විදේශ වත්කම් බවට...

බොන්ගෝලාගේ ධනස්කන්ධයෙන් වැඩි ප්‍රමාණයක් විදේශ වත්කම් බවට හරවා තිබේ. 2020 නොවැම්බර් මස නිකුත් වූ වාර්තාවක, “සංවිධානාත්මක අපරාධ හා දූෂණ වාර්තාකරණ ව්‍යාපෘතිය (OCCRP)” විසින් හෙළිදරව් කරන ලද පරිදි, පසු ගිය දශක දෙක තුළ බොන්ගෝලා සහ ඔවුන්ගේ අභ්‍යන්තර කවය විසින් "එක්සත් ජනපද අගනුවර සහ ඒ ආසන්නයේ ඇමරිකානු ඩොලර් මිලියන 4.2 කට වඩා වටිනා දේපල හතක්වත් මිල දී ගෙන  තිබේ.” ඊට සම්බන්ධ වූවන් අතර, පවුලට බලයේ එල්ලී සිටීමට උදව් කිරීමට මූලික වූ සහ දැනට කුමන්ත්‍රණය යටතේ රඳවා ගෙන සිටින ව්‍යවස්ථා අධිකරණයේ දිගු කලක් සේවය කළ ප්‍රධානියා ද විය. වාර්තාව සඳහන් කළ පරිදි "බොන්ගෝලා වොෂින්ටන් ඩී. සී. ප්‍රදේශයෙන් මිල දී ගෙන ඇති නිවාස සියල්ලටම අත්පිට මුදල් ගෙවා තිබේ."

1990 ගණන්වල දී, එක්සත් ජනපදයේ විමර්ශකයින් විසින් සොයා ගන්නා ලද පරිදි, ඩොලර් මිලියන 100 කට වඩා වැඩි මුදලක් බොන්ගෝ ජ්‍යෙෂ්ඨයාට සම්බන්ධ එක්සත් ජනපද බැංකු ගිණුම් හරහා හුවමාරු වී තිබේ.

බොන්ගෝලාගේ ධනය ප්‍රංශයේ සෝදිසියෙන් බේරී නැත. ඔමාර් බොන්ගෝගේ ජනාධිපති ධූර කාලයේ දී ආරම්භ වූ පරීක්ෂණ කරණ කොට ගෙන, බොන්ගෝ පවුල ඓතිහාසිකව අප්‍රිකාවේ විශ්වාසවන්තම මිතුරා ලෙස සැලකූ පැරණි යටත් විජිතය සහ බොන්ගෝ පවුල අතර සබඳතා පළුදු වී ඇත.

බොන්ගෝ පවුලට ප්‍රංශයේ පමණක් දේපොල 39 ක් ගිණුම් 70ක්..

2007 දී ප්‍රංශ පොලිසිය කළ පරීක්ෂණයකින් හෙළි වූයේ මෙම පවුලට දේපල 39 ක් සහ බැංකු ගිණුම් 70 ක් ඇති බවයි. පරීක්ෂණ ඉදිරියට ගෙන යාමට රජයේ අකැමැත්ත දුටු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ඇතුළු සිවිල් සමාජ සංවිධාන, ප්‍රංශ රජයට බල කිරීම සඳහා උසාවියට ගිය අතර, 2010 දී ප්‍රංශයේ ඉහළම උසාවිය විසින් ගැබොන්, ගිනියාව, හා කොන්ගෝ ජනරජයේ රාජ්‍යවල පාලක පවුල්වලට එරෙහිව විමර්ශන කිරීම සඳහා මාවත විවෘත කරමින් පූර්වාදර්ශ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

නීස් හා පැරිස් නගරවල සුඛෝපභෝගී මන්දිර ඇතුළු සමහර බොන්ගෝ පවුලේ දේපල 2016 දී අත්පත් කර ගැනීමට හැකි වූයේ මෙම නඩු තීන්දුව නිසාය.

අවම වශයෙන් අලි බොන්ගෝගේ ඥාති සහෝදර සහෝදරියන් නව දෙනෙකු ඇතුළු බොන්ගෝ පවුලේ සාමාජිකයින් සහ සහචරයින් කිහිප දෙනෙකුට දූෂණය, මහජන මුදල් අවභාවිත කිරීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරීන් විසින් පසු ගිය වසරේ දී චෝදනා ඉදිරිපත් කෙරිණ. 15 වසරක් පැරණි නඩුවේ චෝදනා අතර, ප්‍රංශ බලශක්ති සමාගමක් වන එල්ෆ් (Elf) විසින් ගෙවන ලදැයි කියන "අනවශ්‍ය කොමිස් මුදල්" සහ අවම වශයෙන් යුරෝ මිලියන 85 ක් (චෝදනා ඉදිරිපත් කරන අවස්ථාවේ ඩොලර් මිලියන 94.6 ක් පමණ) වටිනා දූෂිත දේපල වෙළඳාම් ගනුදෙනු ඇතුළත්ව තිබේ.

කුමන්ත්‍රණ මගින් ආණ්ඩු පෙරළා දැමූ අප්‍රිකානු රටවල් කිහිපයක්ම, එනම් නයිජර්, බුර්කිනා ෆාසෝ, සූඩානය, ගිනියාව, හා මාලි යන රාජ්‍ය පසු ගිය වසර තුනේ දී කැළඹිලි සහගත විය. බොන්ගෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ ගතව සිටිය දී 2019 දී ගැබොන් රාජ්‍යයේ සිදු වූ අසාර්ථක කුමන්ත්‍රණය එහි පෙර නිමිත්තක් විය.

අලුත් එකා ගැනත් විශ්වාසයක් නෑ..

රිපබ්ලිකන් ආරක්ෂක බලකායේ ප්‍රධානියා වන කුමන්ත‍්‍රණ නායක බ්‍රයිස් ක්ලොටෙයා ඔලිගුයි න්ගුයෙමා දැන් රට භාරව සිටී. ඔහුගේ මැදිහත් වීම බොන්ගෝගේ පාලනය අවසන් කරන නමුත් තවමත් බලය පවතින්නේ ප්‍රභූ පැලැන්තිය සහ ව්‍යාප්ත වූ බොන්ගේ පවුල තුළමය.

කුමන්ත්‍රණ නායක න්ගුයෙමා ද අලි බොන්ගෝගේ දුරස්ථ ඥාති සහෝදරයෙකි. OCCRP වාර්තාවේ සඳහන් කර ඇති පරිදි ඔහු ද ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලකට එක්සත් ජනපදයේ දේපල තුනක් අත්පිට මුදල් ගෙවා මිල දී ගෙන ඇත.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු, නිලධාරීන්ගේ නිවෙස්වලින් අත්අඩංගුවට ගත් බව කියන මුදල් පිර වූ බෑග්වල පින්තූර ගැබොන්හි රාජ්‍ය රූපවාහිනිය විසින් විකාශනය කර ඇත.

රටේ නව නායකයා ලෙස සඳුදා (4) දිවුරුම් දුන් න්ගුයෙමා, මිලිටරි පාලනය අවසන් කර නැවත සිවිල් ආණ්ඩුවකට බලය ලබා දෙන බවට පොරොන්දු වී තිබුණ ද, අල් ජසීරා විසින් වාර්තා කරන ලද පරිදි, සංක්‍රාන්තිය ඉක්මන් කිරීමෙන් "අතීත වැරදිවලට නැවත ඉඩ දීමට" ඔහුට අවශ්‍ය නොවනු ඇත.

- 2023 සැප්තැම්බර් 5 වන දින ICIJ වෙබ් අඩවියේ පළ වූ, Micah Reddy ලියූ, “Gabon’s Bongo family enriched itself over 56 years of kleptocratic rule, spreading its wealth across the world” නම් විමර්ශන වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment