ගෝටා වගේම රනිලුත් පාස්කු ප්‍රහාරයේ රහස් හංගලා..! කොමිෂන් වාර්තාවේ දෙක තුන වෙළුම් විපක්ෂ නායකයා ඉල්ලුවත් දීලා නෑ..!
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.14, ප.ව.8.00) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කල ජනාධිපති කොමිසමේ වාර්තාව රජයෙන් ඉල්ලූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ ආකාරයටම එහි රහස් සැඟවී ඇති දෙවැනි හා තෙවැනි වෙළුම් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද විපක්ෂ නායකවරයාට පවා ලබා ගත නොහැකි ලෙස සඟවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (14) කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
රහසිගත හා සංවේදී කරුනු කියා වත්මන් ජනාධිපතිවරයා ද සත්‍ය වසන් කරමින් ජනතාවට තියා විපක්ෂ නායකවරයාටවත් එය කියැවීමට නොහැකි ලෙස සඟවා ඇති බවත් මෙසේ සැඟවීමෙන් ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට අසාධාරණයක් සිදු වන බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයටම වත්මන් ජනාධිපතිවරයා ද කටයුතු කරමින් සත්‍ය සඟවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මේ හේතුවෙන් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇති බවත් මෙම සත්‍ය දැන ගන්නේ චරිත ඝාතනය කිරීමට නොව ජනතාවට හෙළිකිරීමට බවත් මඩ දේශපාලන සංස්කෘතිය තමා කිසිදු අවස්ථාවක අනුමත නොකරන බවත් මෙසේ සත්‍ය දිගින් දිගටම වසන් වුවහොත් ආගම් ජාති අතර අසමගිය ඇති විය හැකි බැවින් එය හෙලිදරව් කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ සත්‍ය සඟවන රජයක් බැවින් සමගි ජන බලවේග රජයක් යටතේ තරාතිරම නොබලා මඩ දේශපාලන ක්‍රියාත්මක නොකර පාස්කු ප්‍රහාරයට මුල් වූ සත්‍ය කාරණා සියල්ල ජනතාවට හෙළි කරන බවයි.
මේ දිනවල බොහෝ පිරිසකට නීච නින්දිත පාස්කු ප්‍රහාරය මතක් වි ඇති බවත් මේ සම්බන්ධ දේශීය මෙන්ම විදේශීයව විවිධ අදහස් ඉදිරිපත් වී ඇති බවත් මේ සම්බන්ධයෙන් රටක් ලෙස සත්‍ය දැන ගත යුතු බවත් ඒ සඳහා විනිවිදභාවයෙන් යුක්ත අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ විසින් දුන් වැදගත් පොරොන්දුවක් වූයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා හෙළිදරව් කර නීතිය හමුවට ගෙන ඒම බවත් ඒ නිසා ලොකු වරමක් ඔහුට ලැබුණ නමුත් ඔහු බලයට ආ දිනයේ සිට සෑම මොහොතකම කටයුතු කළේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරනවා වෙනුවට යටපත් කිරීම බවත් ඒ තුළින් රටේ ජාති භේදය අසමගිය නිර්මාණය වන ලෙස ඔහු කටයුතු කළ බවත් කොවිඩ් සමයේ ආදාහනය හා භූමදානය ගැටලුවේදී පවා ඔහු කටයුතු කළේ රටේ ජාතීන් බෙදීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
No comments:
Post a Comment