Tuesday, 5 September 2023

රනිල්ට ‘ගැහිල්ලට’ ගෙන ගිය කොස් ගෙඩියක් වගේ බෝම්බයක් ශ්‍රී ලංකා පොලීසිය සොයා ගනී..! 

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.05, ප.ව‍.8.00) පසු ගිය දා ගම්පොල දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයාගේ රථ පෙළපාලිය එම ප්‍රදේශය හරහා යමින් සිටිය දී කොස් ගෙඩියක් රැගෙන පයින් යමින් සිටි දුප්පත් මිනිසෙකු අමාරුවේ වැටී ඇතැයි වාර්තා වේ. ඔහු එසේ කළේ රනිල්ට ‘ගැහිල්ලට’ බව පවසමින් පොලිසිය විමර්ශනයක් අරඹා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

ඒ දුප්පත් මිනිසා රනිල්ට ‘ගැහිල්ලටම’ කොස් ගෙඩියක් රැගෙන උද්ඝෝෂණය කළත් ඔහුට විරුද්ධව පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත යුතුව තිබුණේ, සාමකාමීව උද්ඝෝෂණ කිරීමට ජනතාවට අයිතියක් ඇති බැවිනි.

ඒ මිනිසා කිසිවෙකුට තර්ජනයක් නොකළේය. තිදරු පියෙකු වන ඔහු පොලිසිය විසින් නතර කරන විට ඔහුගේ කුඩා දරුවෙකු ද ඔහු සමග සිටි බව අපට වාර්තා වේ.

එහෙව් කොමිටි දැමූ එකා දැන් ජනාධිපතිකාරයා වෙලා..

2022 මැයි මාසයේ දී අගමැති ධුරයට පත් වූ වහාම රනිල් වික්‍රමසිංහ විසින් ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයා නෙරපා හරින ලෙස ඉල්ලා සිටි අරගල ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කමිටුවක් පත් කළ බව කෙනෙකුට මතක ඇත. එම කමිටුව කොළඹ නගරාධිපතිවරයාගෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත විය.

එහෙත් එහෙම කොමිටි දැමූ එකා දැන් ජනාධිපතිකාරයා වෙලා අවුරුද්දක් යන කොට ජනාධිපති රථ පෙළපාලියෙන් උජාරුවෙන් යද්දී දුප්පත් මිනිහෙකුට කොස් ගෙඩියක් අරන් පොදු පාරකවත් යන්න බැරි වෙලාය!

පොලිසිය එම දුප්පත් මිනිසාට එරෙහිව කටයුතු කරන්නේ අහවල් එහෙකට ද?

සිය ගණනක් නොව දහස් ගණනක ජීවිත හා ඩොලර් බිලියන ගණන් වටිනා මහජන දේපල විනාශ කළ ත්‍රස්තවාදීන් ඇතුළු භයානක සිරකරුවන්, මිනීමරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, හා ස්ත්‍රී දූෂකයන් වසර ගණනාවක් තිස්සේ ජනාධිපති සමාව ලබා දී නිදහස් කර තිබේ.

පුද්ගලයන් 91 දෙනෙකුට මරු කැඳවූ (1996) මහ බැංකු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සිර දඬුවම් විඳිමින් සිටි එල්ටීටීඊ සාමාජිකයින් දෙදෙනෙකුට මීට සති කිහිපයකට පෙර ජනාධිපති සමාව හිමි විය.

භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කරවා ගෙන මෙරටට ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට මොනම උනන්දුවක්වත් නැත.

සීනි බදු වංචාව / ජාවාරම සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

ඉහළ පෙළේ ප්‍රශ්නගත ලේඛන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යකාරිය අල්ලන්නට රහස් පොලිසිය යන්නේම නැත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් අඩකට වඩා විවිධ මානවලින්  අවදානමට ලක්ව ඇති බවයි. පාසල් පැමිණීම, ශාරීරික තත්ත්වය, විරැකියාව හා ණය ගැතිභාවය ඇතුළු දර්ශක 12 ක් ඔස්සේ ජනගහනයෙන් 55.7% ක් අධ්‍යාපනය, සෞඛ්‍ය හා ආපදා, සහ ජීවන තත්ත්වය යන ත්‍රිමාන හරහා අවදානමට ලක්ව ඇති බව එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත.

වෘත්තිකයනුත් කොස්ගෙඩි කර තියාගෙන යන දිනය ඈතක නැත...

රනිල්ගේ නොව, රනිල්ගේ රටේ තත්වය එසේ නම් දුප්පතෙකු කොස් ගෙඩියක් හැර වෙනත් දෙයක් රැගෙන යනවා ඇතැයි බලාපොරොත්තු විය හැකි ද?

මේ යන විදියට නම්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැනි ශ්‍රී ලාංකේය වෘත්තිකයන් පවා පෙර නොවූ විරූ බදු වැඩිකිරීම්වලට පින් සිදු වන්නට කොස් ගෙඩි කර තබා ගෙන යන දිනය වැඩි ඈතක නොවිය හැකිය!

1980 ගණන්වල අග භාගයේ දී, රාජ්‍ය සම්පත් වෙන් කිරීමේ දී දිස්වන නාගරික පක්ෂග්‍රාහීත්වය හුවා දැක්වීමට සහ එමගින් ග්‍රාමීය තරුණයන් ප්‍රචණ්ඩත්වයට පොළඹවාලීම සඳහා ජවිපෙ විසින් “කොළොඹට කිරි, ගමට කැකිරි” යන බලවත් සටන් පාඨය නිර්මාණය කෙරිණ. එහෙත් අලි-පොහොට්ටු පරිපාලනය අද ගමත් නගරයත් සමතුලිත කර ඇත. අද රනිල්ගේ රටේ ගම්වාසීන්ට මෙන්ම නගර වාසීන්ට ද කොස් කා ජීවිතය පවත්වා ගැනීමට සිදු වී ඇත!

මහජන මුදල් සොරකම් කිරීම, දූෂිත ගනුදෙනු කිරීම, සහ ආර්ථිකය බංකොලොත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා නීතිය ඉදිරියට ගෙන යා යුත්තේ ඊට වගකිව යුතු අයයි. දුෂ්කරතා දරා ගත නොහැකිව පාරට බසින ජනතා වින්දිතයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම මහා පුදුමයකි.

"ගිනි පෙනෙල්ලෙන් බැට කෑ"..

“ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරියාටත් බයයි” කියා රනිල්ගේ රටේ ප්‍රචලිත කියමනක් තිබේ. පසු ගිය වසරේ රටම කැළඹූ ජනතා නැගිටීමකට හේතුකාරක වූයේ, කොළඹ කිරි ආහාර පෝලිමේ රැඳී සිටි කෝපයට පත් පිරිසක් එවකට සිටි ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයා එම ස්ථානය පසු කර යමින් සිටිය දී ‘හූ’ නාදයෙන් පිළිගත් විරෝධතාවයකි.

ඒ නිසා සෑම විරෝධතාවයකින්ම තමන්ට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් ඇති වීමේ හැකියාවක් ඇතැයි යන බියක් ආණ්ඩුවට තිබේ. එම භීතිය නිසා රනිල්ට නිතර නිතර මුත්‍රා පහ වන්නේ නම් එය ඔහුගේ අතිශයින්ම පෞද්ගලික ප්‍රශ්නයක් වන හෙයින් එමගින් මහ පාරේ නිදහසේ ගමන් කිරීම වැනි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට බලපෑම් කිරීමට ඉඩ දිය නොහැකිය.

“වැල් පොටක් කියා දර මිටිය බැඳ ගන්නට ගත්ත නාගයා වාගේ” මිනිසුන් හැම දාම ඉවසා සිටී යයි සිතන්නට නම් බැරිය!

- 2023 සැප්තැම්බර් 5 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “Jackfruit under jackboot” නම් කතු වැකිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment