Wednesday, 13 September 2023

රාජපක්ෂලාගේ “රජ වැඩ” දිහා බලන කොට ඉන්දියාවේ සඳට යාම මොන කජ්ජක් ද...?

-රංග ජයසූරියගේ ලිපියක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.13, ප.ව.11.00) ජාතික අවශ්‍යතා සඳහා චීන ණය ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම සහ රාජපක්ෂගේ පෞද්ගලික අභිලාෂ අතර සැම විටම ගැටුමක් පැවතිණ.

සති කීපයකට පෙර, ඉන්දීය අභ්‍යවකාශ මෙහෙයුමක් වන චන්ද්‍රයාන් 3, මෙතෙක් ගවේෂණය නොකළ සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්ස අතර, එම ජයග්‍රහණය කළ පළමු රට බවට ඉන්දියාව පත් විය. මෙම මෙහෙයුම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක් වැය වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසයි.

ඉන්දියානුවන්ගේ අද්විතීය බුද්ධ මහිමය සහ  සකසුරුවම්කම...

පසු ගිය සතියේ ඉන්දියාව සූර්ය විකිරණ ගවේෂණය කිරීම සඳහා සූර්යයා වෙත රොකට්ටුවක් යැවීය. මෙහෙයුමේ සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 45 කි.

සිත් ගන්නා සුළු කරුණ නම්, මෑත කාලීන ඉන්දියානු පෙරළිකාර අභ්‍යවකාශ මෙහෙයුම් දෙකටම ගිය වියදම හොලිවුඩයේ අති-සාර්ථක 'ඉන්ටර්ස්ටෙලර්' නිෂ්පාදනයට ගිය වියදම වන ඇමරිකානු ඩොලර් මිලියන 165 ට වඩා අඩු වීමයි.

ඉන්දියානුවන් විද්‍යාඥයන්ගේ හා ඉංජිනේරුවන්ගේ අද්විතීය බුද්ධ මහිමය සහ  සකසුරුවම්කම ගැන එයින් බොහෝ දේ ප්‍රකාශ වේ.

එක මුග්ධකමකින් සෑහීමකට පත් නොවූ රාජපක්ෂලා..

ඩොලර් මිලියන 225 ක චීන ණය මුදලකින් ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ මහ කැලෑවක ගුවන් තොටුපළක් ඉදි කළේය. අපේක්ෂා කළ පරිදිම, එය සුදු අලියෙකු බවට පත් විය. රජය විදේශ ආයෝජකයෙකු සොයා ගන්නා තුරු එය එසේම පවතිනු ඇත.

ඒ මුග්ධකමෙන් සෑහීමකට පත් නොවූ මහින්ද රාජපක්ෂ, චීන රාජ්‍ය ව්‍යවසායක් වන චයිනා හාබර් විසින් ඉදි කරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගනයකට රුපියල් බිලියන 5 ක් යොදන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බල කළේය. පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභා (කෝප්) පරීක්ෂණයකින් අනාවරණය වූ පරිදි එය යෙද වූ මිලෙන් අඩකටත් වඩා, එනම් රුපියල් බිලියන 2 කටත් වඩා අඩු වටිනාකමක් ඇති ක්‍රීඩාංගනයකි.

ඉතාම කළාතුරකින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරනවාට අමතරව, අලි ගැවසෙන කැලයේ ඉදි කරන ලද ක්‍රීඩාංගනයෙන් ප්‍රයෝජනයක් නැත. හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය වැනි දැවැන්ත පිරිවැයකින් යුත් ක්‍රීඩා යටිතල පහසුකම් ඉදි වූයේ, නිහීන රාජපක්ෂලාගේ රාජවංශික අභිලාෂයන් සපුරා ගැනීමට මිස, ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය, පුහුණුව සහ බොහෝ විට ක්‍රීඩා ඇකඩමියක් සඳහා නොවේ.

රට නොව පවුල ගොඩනැංවීමේ ව්‍යාපාරය..

මහින්ද රාජපක්ෂ සිය රට නොව පවුල ගොඩනැංවීමේ ව්‍යාපාරය දිගටම කර ගෙන ගියේය.

රජයට හිතවත් රූපවාහිනි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමග කතාබහ කර ගැනීමෙන් පසු, ඔහු බහු-මොඩියුල විකාශන පහසුකම් උදෙසා යයි කියමින් නෙළුම් කුළුණ ඉදි කිරීම සඳහා චීන ණයක් ලබා ගෙන ඇමරිකානු ඩොලර් මිලියන 113 ක් වැය කළේය. මෙම ව්‍යාපෘතිය විකාශන පහසුකම් නොමැතිව විවෘත කරන ලද තවත් “සුදු අලියෙකු” වූ අතර මුල් ආයෝජන මුදල පවා ආපසු උපයා ගැනීම අපහසුය.

ඒ සියල්ල ශ්‍රී ලංකාවේ චීන ණය රාජ්‍ය තාන්ත්‍රිකභාවය නිසා සිදු වූ වැරදි කළමනාකරණය, දූෂණය සහ පසුගාමී ගනුදෙනු පිළිබඳ සුප්‍රසිද්ධ සිද්ධීන් වන අතර, එවැනි තවත් බොහෝ දේ තිබේ.

හම්බන්තොට මාර්ග ව්‍යාපෘති ලැයිස්තුව බලන්න..

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුව, 2020 වන විට චීනයේ එක්සිම් බැංකුව විසින් අරමුදල් සපයන ලද හම්බන්තොට මාර්ග ව්‍යාපෘති ලැයිස්තුව සලකා බලන්න:

1.    දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම (1 වන අදියර)
මාතර සිට බෙලිඅත්ත දක්වා කි.මි. 30 ක මාර්ගය ඉදි කිරීම
වටිනාකම - US$ මිලියන 804
ණය මුදල - US$ මිලියන 683

2.    දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම (2 වන අදියර)
බෙලිඅත්ත සිට වැටිය දක්වා කි.මි. 26 ක මාර්ගය ඉදි කිරීම
වටිනාකම - US$ මිලියන 424
ණය මුදල - US$ මිලියන 360

3.    දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම (3 වන අදියර)
    වැටිය සිට මත්තල දක්වා කි.මි. 15 ක මාර්ගය ඉදි කිරීම
    වටිනාකම - US$ මිලියන 252
    ණය මුදල - US$ මිලියන 252

4.    දකුණු අධිවේගී මාර්ගය සඳහා සැලසුම්, සමාලෝචන හා උපදේශන සේවා
    වටිනාකම - US$ මිලියන 88
    ණය මුදල - US$ මිලියන 88

එකී ව්‍යාපෘති සඳහා පමණක් සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් වන අතර ඒ සියල්ල මහින්ද රාජපක්ෂගේ ගෝත්‍රික භූමියේ අධිවේගී මාර්ගයක් ඉදි කිරීම සඳහාය. මේවා නිර්ලජ්ජිත, මනෝමය රාජවංශයක විනාශකාරී, මූල්‍යමය සොරකම් හා බැඳුණු මිල අධික ව්‍යාපෘති මිස සැබෑ සංවර්ධන ව්‍යාපෘති නොවේ.

ඊට වෙනස්ව, චීන ණය ආධාර මත කළ ප්‍රයෝජනවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයෙන් එකක් වන කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 292 කි. අනෙකුත් ව්‍යාපෘති අභිබවා ආර්ථික වර්ධනයකට තුඩු දෙන JICA අරමුදල් සපයන කොළඹ මොනෝරේල් ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර තිබුණේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 කි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන පර්යන්තය සඳහා අරමුදල් සපයනු ලද්දේ ද JICA විසිනි. වත්මන් විනිමය අනුපාතිකයට අනුව එහි වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 570 ක් පමණි.

කොල්ල කෑ මුදල් ගියේ කොහේ ද?

අනාගත රජයක් විසින් රාජපක්ෂ යුගයේ ණය ආධාර මත සිදු කළ ව්‍යාපෘතිවල සැබෑ පිරිවැය පිළිබඳ වෝහාරික සමාලෝචනයක් පවත්වා කොල්ල කෑ මුදල් ගියේ කොහේ දැයි සොයා බැලිය යුතුය.

නිෂ්ඵල ව්‍යාපෘති සම්බන්ධයෙන් චීනයට දොස් පැවරීම නිවැරදි නමුත් එය ශ්‍රී ලංකාවේ චීන ණයවලට පමණක් අනන්‍ය නොවේ. පසු ගිය දශක දෙක තුළ චීනයේ අහස උසට නැඟුණු සංවර්ධනයට අර්ධ වශයෙන් අරමුදල් සපයන ලද්දේ රාජ්‍ය නායකත්වයෙන් යුත් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපාරයකිනි. එම ව්‍යාපෘතිවලින් වැඩි සංඛ්‍යාවක් හොල්මන් නගර හා පාළු ගුවන් තොටුපළවල් ඉදි කිරීම සඳහා වැය කළ නාස්තිකාර වියදම් බව පසුව චීන ජාතිකයන්ට අවබෝධ විය. එවැනි බොරු වියදම් නැවත නොකිරීමට ඔවුහු උත්සාහ කරති. චීන ආර්ථිකය මන්දගාමී වෙමින් තිබුණ ද, අතීතයේ කළ අමන වැඩ නැවත කිරීමේ උවමනාව ඔවුන් විසින් පරාජය කර ඇත.

චීන බේගල්...

හම්බන්තොට චීන නාවික කඳවුරක අපේක්ෂාව ද ඇතුළුව, චීන භූ දේශපාලනික අවශ්‍යතා මත ශ්‍රී ලංකාව තුළ සිදු වන චීන ආයෝජන සමහර අවිධිමත් විශ්ලේශණ මගින් අගැයීමට ලක්ව තිබේ. ඒවා බේගල්ය.

චීන ආර්ථිකයේ ප්‍රසාරණයට පහසුකම් සලසන සත්කාරක රටවල දේශීය සාධක කෙරෙහි අවධානය යොමු කිරීමට ඒ විශ්ලේශණ අසමත්ව ඇත. චීනයෙන් එල්ල වන තර්ජනයක් හෝ උල්ලංඝණය කිරීමක් තමන්ට දැනේ නම් එම දේශීය සාධක ඊට එරෙහිව ප්‍රතිචාර දක්වනු ඇත. ආර්ථිකමය හා හමුදාමය වැනි විවිධාකාරයේ බල හුවමාරු දේශීය සාධක මත රටෙන් රටට බොහෝ සේ වෙනස් වේ.

චීනයේ ණය රාජ්‍ය තාන්ත්‍රිකත්වය මූලික වශයෙන් වාණිජවාදී වන අතර අඩුවෙන් භූ දේශපාලනිකය. එහෙත්, චීන ව‍ාණිජමය මැදිහත්වීම සාදරයෙන් පිළිගන්නා හිතකර දේශීය තත්ත්වයක් නොතිබේ නම් චීනයේ වාණිජවාදය පමණක් ශ්‍රී ලංකාව තුළ සිය සාර්ථකත්වය අත්කර නොගනු ඇත. වාණිජමය චීන ණය සහ රාජපක්ෂගේ පෞද්ගලික හා දේශපාලන අභිලාෂ අතර ඇති ඒකාබද්ධතාවය සහ, ඇත්ත වශයෙන්ම, රටේ පවත්නා දුර්වල යටිතල පහසුකම් නිසා චීන ආර්ථික ව්‍යාපෘතිවල වේගවත් ව්‍යාප්තියට මෙරට තුළ පහසුකම් සැලසිණ.

'රාජපක්ෂ ආශා' සහ 'සුදු අලි'...

රාජපක්ෂ සහ ඔහුගේ සහචරයින් පවසන්නේ ඔවුන් චීන ණය ලබා ගත්තේ ජාතික අවශ්‍යතා සඳහා බවයි. කෙසේ වෙතත්, ඕනෑම කෙනෙකුට පෙනෙන පරිදි, සම්පත් යොදවා ඇත්තේ රට වෙනුවෙන් නොව, රාජපක්ෂලාගේ ව්‍යාජ රාජවංශික අභිලාෂ සන්සිඳුවා ගැනීම සඳහාය.

ජාතික අවශ්‍යතා සඳහා චීන ණය ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම සහ රාජපක්ෂගේ පෞද්ගලික අභිලාෂ අතර සැම විටම ගැටුමක් පැවතිණ. දෙවැන්න, එනම් “රාජපක්ෂ ආශා” ජයග්‍රහණය කළ අතර, රටට ඉතිරි වූයේ, “සුදු අලි” ව්‍යාපෘති සහ ඔහුගේ ගෝත්‍රික වසමේ අධික මිලට ඉදි කළ පාරවල්වල ලැයිස්තුවක් පමණි.

චීන හමුදා කඳවුරක් පිහිටු වීම සඳහා ඉඩම්..

හම්බන්තොට වරාය ඉදි කිරීම සඳහා වාණිජ මට්ටමින් දෙවැනි අදියර ලෙස චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක තරම් විස්මය දනවන ණයක් ලබා ගත් රාජපක්ෂ, ඉන් පසුව අක්‌කර 10,000 ක අපනයන කලාපයක්‌ ඉදි කිරීමට චීන රාජ්‍ය සංවිධානයක්‌ ඉදිරිපත් වීමත් සමගම, “ප්‍රදේශවාසීන්ගෙන් ඉඩම් ලබා ගැනීම චීනයෙන් ණය ගන්නවාට වඩා දුෂ්කරයි,” කියමින් අඩපණ වීම සිත් ගන්නා සුළු කරුණකි.

එම ව්‍යාපෘතිය අක්කර 1,000 ක් දක්වා අඩු කරන ලද නමුත් විදේශීය හමුදා කඳවුරක් පිහිටු වීම සඳහා ඉඩම මායිම් කිරීමට යන මිනින්දෝරුවන් ගම්වැසියන් විසින් පන්නා ගනු ලැබීම නිසා තවමත් ව්‍යාකූලව පවතී.

එසේම, යටිතල පහසුකම් සහ අනෙකුත් ගොඩනැගීම් සඳහා නිර්ලෝභී ලෙස ණය ගත් රාජපක්ෂ, එම ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය මෘදුකාංග, අනිවාර්ය ආර්ථික ප්‍රතිසංස්කරණ, වාණිජ ලිබරල්කරණය සහ ව්‍යාපාරික හිතකාමී නීති ක්‍රියාත්මක කිරීමට කම්මැලි වූයේ, ඔහුගේම අඳබාල ගෝලබාලයන් ද ඇතුළු සමහර‍ෙකු එවැනි ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීම නිසාය.

ගෝත්‍රික වසමක් ගොඩනගා ගෙන එහි ‘මහාරාජා’ වීම..

රාජපක්ෂ එම ණය කන්දරාව ජාතික අවශ්‍යතා සඳහා යොදා ගෙන දේශීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේ නම් චීන ණය ශ්‍රී ලංකාව තුළ ආර්ථික ආශ්චර්යයක් සිදු කිරීමට ඉඩ තිබුණි. නමුත් ඒ කිසිවකට ඔහු උනන්දු නොවීය.

මහින්ද රාජපක්ෂගේ බොළඳ ලෝකය තුළ ඔහුගේ සිහිනය වූයේ, ඔහු හැදී වැඩුණු අවදියේ ඇසූ දුටු බණ්ඩාරනායකලාගේ අත්තනගල්ලේ ග්‍රාමීය වසමට සමාන වන ආකාරයෙන් ගෝත්‍රික වසමක් ගොඩනගා ගෙන එහි ‘මහාරාජා’ වීමයි.

නාස්තිකාර යටිතල පහසුකම් සඳහා ඔහු නාස්ති කළ බිලියන ගණන්වලින් ඉතා සුළු මුදලක් ඔහු අධ්‍යාපනය, විශ්ව විද්‍යාල හා වෘත්තීය පුහුණුව වැනි දේ සඳහා ද ආයෝජනය කළේය. ඔහු එසේ කළේ, ඔහුගේ අයියලා-මල්ලිලා හා අක්කලා-නංගිලා හා පුතාලා මොකුන් දැයි උගත් සහ අභිලාෂකාමී තරුණ පරම්පරාවට සිතා ගත හැකි වනු පිණිස විය හැකිය.

චන්ද්‍රිකා කී 'රටේ වෙදා' සහ ජනතාවගේ තරම..

චන්ද්‍රිකා කුමාරතුංග විසින් මහින්ද රාජපක්ෂ හැඳින්වන ලද්දේ, “රටේ වෙදෙකු” ලෙසය. ඔහු රස්තියාදුකාරයන් හා හෙන්චයියන් වටේ තියා ගෙන රජකම් කළ අතර, ඔහුගේ සපත්තු දිවෙන් පොලිස් නොකරන බුද්ධිමතුන් ඔහුට කරදරයක් විය.

රටක ගුණාත්මක වර්ධනයක් ඇති වීමට නම් ගුණාත්මක නායකයින් සිටිය යුතුය. කෙසේ වෙතත්, නායකයින් දක්ෂ වන්නේ ඔවුන් තෝරා පත් කර ගන්නා ජනතාවගේ තරමට පමණි. ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට ලැබිය යුතු නායකයා ලැබුණු අතර, ඒ පරපුරේ අවසන් නායකයා වූ ගෝටාබයගේ කෙරුවාවෙන් රට වළ පල්ලටම කඩා වැටුණි.

එනමුත් එක් දෙයක් සඳහා, අප රාජපක්ෂට ස්තූතිවන්ත විය යුතුය: ඔහු මෙරට ඡන්දදායකයන් පහසුවෙන් රැවටිය හැකි අමන රැළක් බව ඔප්පු කළේය. නමුත් බහුතරයකට ඒ පණිවිඩය ලැබුණා ද යන්න සැක සහිතය.

- 2023 සැප්තැම්බ්ර් 6 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Ranga Jayasuriya ලියූ, “India’s moon landing and Rajapaksas’ crash landing of Sri Lanka” නම් ලිපිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment