ටෲත් විත් චමුදිත කියන්නේ කබ්බන් ෆෝර්ම් කරන වැඩසටහනක්ද?
-සතී පනාවැන්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.26, ප.ව.11.00) මාතෘකාව මෙහෙම යොදන්නෙම විශේෂ හේතුවක් මත. ඉතා අහම්බයෙන් මම වෙනත් කෙනෙක් හරහා එවන මැසේජ එකකින් මේ ලින්ක් ඇස ගැටෙනවා. ඔහු විසින්, මේක ගැන මගේ අදහස මොකක්ද කියලයි අහලා තිබුනේ. ඔහුට කියන තොරතුරු ප්‍රමාණය ඔබටත් වැදගත් යැයි හැඟෙන නිසා බෙදාගන්න අදහස් කළා. මේ වැඩසටහනේ පවතින්නේ ආචාර්ය ඩබ්ලිව්. එස්. විමලසූරිය නැමැති පුද්ගලයෙක් විසින් චමුදිතගේ යූ ටියුබ් චැනලය හරහා කළ හෙළිදරව්වක්. මේ කියන කාරනය හෙළි කරන්න කලින්, ඊනිව්ස් පාඨකයන්ට කියන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. ඒ මේ හෙළිදරව්වේදී කරන යම් යම් කාරණා, ඒ කියන්නේ පර්ල් එක්ස්ප්‍රස් නැවේ සිද්ධිය හරහා මහා පරිමාණ මුදල් ගනුදෙනු ප්‍රමාණයක් සිදු වී ඇති බවට පවතින කාරණා ගැන අපි විවාදයකට යන්නේ නැති බව. මේ ගැන අධිකරන ඇමතිවරයා පවා යම් හෙලිදරව්වක් කළත්, ඒකත් නාඩගමේ කොටසක් බවටයි අපට දැන් සිතෙන්නේ. හේතුව ඉන්පසු ඒ ගැන සිදු වී ඇති දෙයක් නොමැති නිසා. ඒ නිසා අපේ මේ සටහන තබන්නේ ඒ කරුණු ගැන අදාල බර ප්‍රමාණය තබමින්. මොකද මේක අප අසා ඇති ඉතිහාසයේ සිදු වී ඇති විශාලතම සමූද්‍ර දූෂණයන්ගෙන් එකක් වීම නිසා.
වැඩ සටහන අරඹමින්..
චමුදිත වැඩ සටහන අරඹමින් මේ ආචාර්ය විමලසිරි නම් පුද්ගලයා හඳුන්වා දෙනවා. එහිදී ඔහු විසින්ම ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ උපදේශකයෙක් ලෙස ලංකාව තුළ කටයුතු කරන බවත්, ලන්ඩන් හා වර්ල්ඩ් මැරිටයිම් විශ්ව විද්‍යාලයෙන් උපාධිය කළ බවත්, ආචාර්ය උපාධියක් සහිත බවත්, ඊට අමතරව, රසායන ද්‍රව්‍ය පිළිබඳ උපදේශකයකු බවත් හඳුන්වා දෙනවා. පැනි සුමනෙලා, ධම්මික වෙදාලා පිනුම් ගහපු රටේ, කවුරුන් හෝ මෙහෙම දෙයක් කිව්වම, හඳ දිහා නොව කලින් ඇඟිල්ල දිහා බලන පුරුද්දක් මට තියෙනවා.ඒක නිසා මම මුලින්ම මේ කවුද කියලා ගූගල් එකෙන් සොයලා බැළුවා.
කවුද මේ විමලසිරි?
ඒ අනුව ඔහු විසින් සකසන ලද ලින්ක්ඩින් එකවුන්ට්ස් කිහිපයක් මට හමුවෙනවා. ඒ කිසිම එකක ඔහු ආචාර්ය උපාධියක් කළ බවක් හෝ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කළ හෝ කරන බවට සඳහනක් නෑ. ඒ වගේම ඔහු චමුදිත එක්ක කියන ලංඩන් හෝ වර්ල්ඩ් මැරිටයිම් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් බවට සටහනක් නෑ. ඔබටත් ඔහුගේ මේ එකවුන්ට් එකට ගියොත් එහි සඳහන් වෙන්නේ, ඔහු ඉංජිනේරුවෙක් බවටත්, ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හදාරා ඇති බවත් (https://lk.linkedin.com/in/w-s-wimalasooriya-0a9a97213). ඒ වගේම අවම වශයෙන් ආචාර්ය උපාධියක් කළ කෙනෙක් නම් ඔහු විසින් කළ පර්යේෂණයන් හෝ ඔහු කර්තෘ හෝ සමකර්තෘත්වය දරණ පර්යේෂණ පත්‍රිකාවක් අන්තර්ජාලයෙන් හෝ ගූගල් ස්කොලර් වලින් සොයා ගන්න පුළුවන් විය යුතු වුවත් මට පෞද්ගලිකව එවැනි කිසිම පර්යේෂණයක් සොයා ගන්න බැරි වීම පිළිබඳ ගැටළුකාරී තත්වයක් ඇති කරවන්නක්.
රටක් පරපුරක් විනාශ වෙන්න දී තොරතුරු සඟවන එක්සත් ජාතීන්ගේ සංවිධානය..
මේ සාකච්චාඡාවේදී එක්සත් ජාතීන්ගේ නාවික සංවිධානය (IMO) සතුව මොහු පවසන තොරතුරු වලට අදාල පර්යේෂණ වාර්තා පවතින බවට ඔහු පවසනවා. මා අසා ඇති පරිදි එක්සත් ජාතීන්ගේ කුමන හෝ මට්ටමක සේවය කරන කෙනෙක්ට පහසුවෙන් මෙවැනි ප්‍රකාශයක් කරන්න බැහැ. මොකද ඔහු පවසන පරිදි ලංකාවේ මේ වන විට ළමයින් අතර පිළිකා බහුල බවත්, ස්නායු ආබාධ සහ ආතතිය ඉහළ බවත්, එසේ වීමට හේතුව පර්ල් එක්ස්ප්‍රස් නැවෙන් අපේ මුහුදට එකතු වූ ප්ලාස්ටික් සහ අනෙකුත් රසායන ද්‍රව්‍ය බවත්, ඒ පිළිබඳ නිශ්චිත පර්යේෂන වාර්තා ඔවුන් සතු බවත්, මේ තැනැත්තාට ඒවා පර්ශීලනය කළ හැකි වුවත්, ඒවා එලියට දෙන්න නීතිමය බාධාවන් ඇති බවත් පවසනවා. ඔහුට පුද්ගලිකව එවැනි බාධාවන් හෝ රැකියාවේ එකඟතා (ඇග්‍රීමන්ට් ) තිබිය හැකි වුවත්, රටක දරු පරපුරක් විනාශ වෙන්න ඉඩ දෙමින් පර්යේෂණ වාර්තා සඟවා සිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකියාවක් ඇත්ද? යන්න ගැටළුවක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ මතුපිටින් ගත් කළ අප සියළු දෙනාටම අයත් වූ සංවිධානයක්. එනිසා මේ සටහන දකින IMO හෝ වෙනත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිසි බළධරයෙක් මේ ගැන නිළ ප්‍රකාශයක් කළ යුතු නොවේද?
නාරා-මීපා-පරිසර අධිකාරිය නිදිද?
මේ පුද්ගලයාගේ හෙළිදරව්ව ගැන අදාල බලයලත් ආයතන වන මීපා, මධ්‍යම පරිසර අධිකාරිය සහ නාරා පවසන්නේ කුමක්ද? ඔවුන්ගේ නිළ බලය යොදා ගනිමින් මේ සඳහන් කරන පර්යේෂන පත්‍රිකාවන් IMO වෙතින් ඉල්ලා සිටිය නොහැකිද? ඔවුන්ට නොහැකි නම්, පර්ල් එක්ස්ප්‍රස් නැවේ හානිය ගැන නඩු කටයුතු සඳහා ඉතා වැදගත් මෙවැනි පත්‍රිකාවන් නීතිපති දෙපාර්තමේන්තුවට හෝ ලක් රජයට ඉල්ලීමක් කර ලබා ගත නොහැකිද?
අප දන්නා ලෙස..
පිළිකා සහ මයික්‍රොප්ලාස්ටික් අතර පවතින සෘජු සම්බන්ධය ගැන තවම නිශ්චිත නිගමනයක් නැහැ. මේ ගැන තවමත් පර්යේෂන පවතින්නේ මූලික අවධියේ, ඒ වගේම පර්යේෂන කණ්ඩායම් අතර විවාදිත බෙදුනු මතවාදයක් තියෙන්නේ. විශේෂයෙන් ප්ලාස්ටික් කියන්නේ, විවිධ විෂ සංයෝග ඒවායේ පෘෂ්ඨයට බැඳගෙන ජලජ පරිසර පද්ධති හරහා වෙනත් තැනකට ගෙනයන ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා වෙනවා. විශේශයෙන් අපි බැර ලෝහ ඝනයට ගන්න සංයෝග වගේම, බිස්ෆීනොල් ඒ වැනි පිළිකාකාරක සංයෝග මයික්‍රොප්ලාස්ටික් අංශු වලට බැඳිලා, ඒ හරහා අපේ ඇඟට එන්න පුළුවන්. ඒ වගේම පර්ල් එක්ස්ප්‍රස් නැවේ අනතුර සිදු නොවුනත් ලංකාව කියන්නේ ජලජ පරිසරයට ප්ලාස්ටික් එකතු කරන රටවල් වලින් හැම වසරකම කප් ගහපු සහ ගහන රටක්. ඒ වගේම මාලුන්ගේ විතරක් නෙවෙයි, අද වෙද්දී සියළුම ආහාර වල, බෝතල් ජලයේ, මවු කිරි වල පවා මයික්‍රොප්ලාස්ටික් පවතින බව සොයාගෙන තියෙනවා
ගහෙන් වැටුන ධීවරයාට චමුදිත-විමලසූරිය ඇනීම..
පවතින ඉන්ධන මිළ සහ පාරිභෝගිකයාගේ මිළ දී ගැනීම් ශක්තිය අඩු වීම නිසා, ධීවර ජනයා ඉන්නේ කබලෙන් ලිපට වැටුණ තත්වයක. එහෙම වට පිටාවක, පොඩි මාළු කන්න එපා, ළමයින්ට කැන්සර් හැදෙන්නේ මාළු කන නිසා වැනි, නිශ්චිත පදනම් තොරතුරු හෙළි නොකරමින්, විශේෂයෙන් මාධ්‍ය මගින් දෙන ඕන ලනුවක් ගිලින ජනතාවක් ඉන්න රටකට බැරෑරුම් කාරණයක්. ජනයා කොපමන මෙවැනි දේ සොයා බැලීමකින් තොරව, පිළිගන්නේද යන්න, මේ වැඩසටහනේ ඇති කමෙන්ට් වලින්ම පැහැදිළි වෙනවා. ඒක නිසා, මම කරන්නේ තොරතුරු ජනතාවට දීම, සොයා බලන එක ජනතාවගේ වැඩක් වැනි දේ කියලා ඇඟ පිස දා ගන්න චමුදිතලාට පුළුවන්ද? ඕන කබ්බෙක් ගෙනත් ෆොර්ම් කරන එකද මාධ්‍ය වෘත්තීමය බව කියන්නේ.
ඒක නිසා අපි හැමෝටම, මේ හෙළිදරව්ව කරන විමලසිරි මහතාටත්, චමුදිලාටත්, අදාල ආයතන වලටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් කියන්නේ, නිසි තොරතුරු, සාක්ෂි එක්ක ජනතාව අභිමුවට එන්න. මේ කියන සඟවා ගෙන ඇති පර්යේෂන තොරතුරු අනාගත ළමා පරපුර වෙනුවෙන් හෙළි කරන්න. පර්ල් එක්ස්ප්‍රස් නැවේ නඩු කටයුත්තට මේ කියන පර්යේෂන වාර්තා වැදගත් සාක්ෂි ලෙස යොදාගන්න. එහෙමත් නැත්නම් අඩුම ගානේ කැලණි නයාගෙන්, ධම්මික පැනියෙන්, බැට කාපු අහිංසක ජනතාව වෙනුවෙන් තවත් කබ්බන් ෆෝර්ම් කිරීමෙන් වලකින්න.
-සතී පනාවැන්න
https://www.lankaenews.com/category/69
No comments:
Post a Comment