Sunday, 25 February 2024

බුද්ධ ශාසනය දවසින් දවස ජරාජීර්ණ වෙද්දී මහනායක හිමිවරුන්ට එය නොදැනෙන්නේ දිගු කලක් කරකැත්තෙන් හිස බෑම නිසා ද? -අහෝ, ශ්‍රී ලාංකික බුදු සසුන 3 වන කොටස-

-කුඩගම්මන සීලරතන හිමියෝ ලියති

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.25, ප.ව.5.15) මේ ලිවීම ඉවරයක් කරන්නට මහනායක හාමුදුරුවෝ ඉඩ නොදෙති. උන් වහන්සේ හයක් හතරක් නොදන්නා කෙනෙකු සේ හැසිරීම මා තුළ දනවන්නේ සංවේගයකි. උන් වහන්සේලා හතර නමක් පෞද්ගලීකරණය පිළිබඳ අදහසක් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ලිඛිත ව මේ නොබෝ දා ඉදිරිපත් කර තිබුණි. ඒ ලිපියේ තිබුණ භාෂා ව්‍යවහාරමය, ව්‍යාකරණමය දොස් දකින කෙනෙකුට ම අද බෞද්ධ භික්ෂුව භාෂා සාහිත්‍යමය අතින් කෙතෙක් දුරට නම් පසුගාමී ද යන්න මැනවින් වටහා ගත හැකි ය. මගේ අභිප්‍රාය ඒ ගැන කථා කිරීම නොවේ. පෞද්ගලීකරණය පිළිබඳ ඒ ලියවිල්ල මා තුළ දැනවූයේ සිනහවක් වූ අතර, ඒ පිළිබඳ ව කතා කරනු අසන්නට ලැබුණ හැම කෙනෙකු ම කතා කළේ “අනේ වෙලා තියෙන දෙයක්,” වැනි හැඟීමක් සිත් තුළ දරාගෙන ය. එකක්, කවුරුත් දන්නා පරිදි පෞද්ගලීකරණය ගැන මහනාහිමියන් දන්නේ මොනවා ද? ‘පෞද්ගලීකරණය කිරීම’ යන යෙදුම මුලින් ම ඉංග්‍රීසි භාෂාවෙන් යෙදුණ තැන ලෙස කියැවෙන්නේ 1923 දී ජර්මනියේ දුම්රිය මාර්ග පෞද්ගලීකරණය කිරීම පිළිබඳ කාරණයක දී ය. අසූව දශකයේ දී ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් බවට පත් ව ඇති එය, ශ්‍රී ලංකාවට කළ හානිය මෙතෙකැ’යි කිව නොහැකි බව ඇත්ත ය. එහෙත්, අද වනවිට තත්වය හාත්පසින් ම වෙනස් ය. අධ්‍යාපනය, රෝහල්, වරාය, විදුලිය, ගමනාගමනය, පළාත් පාලන ආයතන වැනි ආයතන පෞද්ගලීකරණය කිරීමෙහි වරදක් නැත්තේ එක ම කාරණයක් මත ය. එසේ නොමැති ව එම ආයතන වසා පැතිර තිබෙන පිළිකාවක් වැනි අතිරික්ත සේවකයන් පිළිබඳ අර්බුදය විසඳීමට අන් මගක් නොමැත.

ලංකාවේ අවුරුදු 23 කදී කළ දේවල් ඇමරිකාවේ දී එක් දිනක් තුල කරන්නට..

කිහිප වසරකට පෙර, මගේ හිතවත් කෙනෙකුගේ දරුවෙකුට උසස් පෙළ විද්‍යා විෂයයක් සඳහා උපකාරක පන්තියක් පැවැත් වූ කෙනෙකුට 2018 වසරේ ඇමරිකානු වීසා ලොතරැයිය ඇදී ඇමරිකාවට පැමිණීමට ඉඩ ලැබුණේ ය. කොළඹ සරසවියේ උපාධිධරයෙකු ව විසිතුන් වසරක් ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පරීක්ෂණාගාරයෙහි රැකියාව කර තිබුණ ඔහුට ඇමරිකාවේ දී ද ඛනිජ තෙල් සම්බන්ධ ආයතනයක රැකියාවක් කිරීමේ ආශාව තිබුණි. ඉතා පහසුවෙන් රැකියාවක් සොයා ගත් හෙතෙම දෙතුන් දිනෙකින් මා අමතා කතා කර තමාට ඇමරිකානු ජීවිතය අප්‍රසන්න වී තිබෙන බව පැවසී ය. ඒ කුමක් නිසා දැ’යි විමසූ විට ඔහු පැවසුවේ, විසිතුන් අවුරුද්දට ම කළ දේවල් ඇමරිකාවේ දී එක දිනෙක දී කරන්නට සිදු වී ඇති නිසා, මහත් සේ වෙහෙසට පත් ව සිටි ඔහුට ආපසු යන්නට ම සිතෙන බව පැවසී ය. එදිනෙන් පසු මම ඒ තැනැත්තා සමග කිසිදු දවසෙක කතා නොකළේ ඇති වූ පිළිකුළ නිසා ය. අඩු ම තරම නුවර නගරයේ එක පාසැලකවත් වැඩ නොකරන ගුරුවරුන් කී දෙනෙකු සිටින්නේ දැ’යි මහ නාහිමියන් දන්නවා ද? මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා ආයතනයට කෙනෙකු යවා මහ නාහිමියන් විමර්ශනයක් කරවා වදාළොත් මැනවි. හැම රාජ්‍ය ආයතනයක ම තිබෙන ලොකු ම ගැටළුව ඒ තැන් හුදෙක් දේශපාලකයින්ට සට්ටම්බිකම් කළවුන්ට වැටුප් ලබා ගැනීමේ මධ්‍යස්ථාන වී තිබීම ම ය. ඒ ලිපිය කියවා නොදන්නා දෙමළෙට ගිහින් මහ නායක හාමුදුරුවොත් මේ වරි‌ගෙ නහ ගන්න හදනව නේදැ’යි හැඟුණ මට ඊට දින කිහිපයකට පසු, “අපි ඉතිහාසයේ විශාලතම පෞද්ගලිකකරණ වැඩ සටහන දියත් කරමින් ඉන්නවා යයි,” ජනාධිපතිතුමන් සිය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් පැමිණි නියෝජිත පිරිසට පැහැදිළි කරමින් පැවසූ බව සමාජ මාධ්‍යයන්හි තිබෙනු දුටුවිට ඇති වූයේ එවැනි ලියුම් ලිවූ මහ නාහිමිවරුන් පිළිබඳ සංවේගයකි.

තමන් මහනායකකම කරන බුද්ධ ශාසනය දවසින් දවස ජරාජීර්ණ වන අතර

මේ ලිපි මාලාව කිසිවෙකුට රිදවන්නට ලියැවෙන්නක් නොවේ. කිසියම් කෙනෙකු මේවායින් රිදවා ගන්නෙහි නම් එයට කරන්නට ද දෙයක් නැත. එහෙත්, මට කීමට අවශ්‍ය කණගාටුදායක ම දෙය, තමන් මහනායකකම කරන බුද්ධ ශාසනය දවසින් දවස ජරාජීර්ණ වන අතරතුර, විවිධ අපතයින් හිතෙන හිතෙන අයුරින් බුදු දහමත්, සංස්කෘතියත් වනසමින් සිටිය දී, උන් වහන්සේලා ඒ වගත් මෙසේ ම යයි ඵලක් නැති ලියුම්වලට අත්සන් කරන වාරයක් පාසා, බැණුම් අසන්නට වී තිබෙන්නේ අපට ය. මක් නිසා ද යත්, මේ විහිලු දක්නවුන් මහ නායක හාමුදුරුවන්ට බනින්නේ අප සමග ය. ඒ බැණුම් ඇසෙන්නේ අපේ කන්වලට ය. ඔය ලියුම් ලියමින් සිටින අතර මහනාහිමිවරුන්ගේ ම ශාසනයෙහි භික්ෂූන් කෙනෙකු දෙන්නෙකු මසකට වරක් පමණ වෙඩි තබා මරා දැමෙන බව පෞද්ගලීකරණය රටේ ආරක්ෂාවට බලපාන ආකාරය ගැන උපදෙස් දෙන්නට යන මහ නායක හාමුදුරුවන්ට නොපෙනෙනකම කාගේ අභාග්‍යයක් දැ’යි නොදනිමි. මට තිබෙන කනස්සල්ල බුදු සසුන තුළ විසඳිය යුතු, විසඳිය හැකි දහසක් දේ බැලූ බැලූ අතින් දිස් වෙද්දී, ලැබෙන හෝ පිස ගත් යමක් වළඳා වෙන දෙයක් වෙන්නට හැර මේ සා විශාල ගණනක් මහ නාහිමිවරු බලා සිටින්නේ ඇයි ද යන්න ය. සමහර විට, ඒවායිනුත් උන් වහන්සේලාගේ ම මඩි තර වන්නේ දැ’යි දන්නේ උන් වහන්සේලා ම ය.

දිගු කලක් මුළුල්ලේ කරකැත්තෙන් හිස බෑම නිසා සිදුවූවක් ද?

මීවනපලානේ ධම්මාලංකාර මානසික රෝගියෙකුට වඩා වෙනස් කෙනෙකු නොවන බව පැහැදිළි ය. ඔහු හෝ ඔහුට හිතෛශි කෙනෙකු පළ කර තිබෙන එක් යූ ටියුබයක පවසන්නේ, තමා ත්‍රිපිටකය කියවා නැති බවත්, එය නොපිළිගන්නා බවත්, ඔහු එසේ නොපිළි ගන්නා බව අස්ගිරි-මල්වතු මහනාහිමිවරුත් පිළිගෙන තිබෙන බවත් ය. අන්තර්ජාලයෙහි තිබෙන මේ ප්‍රකාශය ඇසූ සිතන්නට මොළයක් තිබෙන කවරෙකුට වුව ද මහනාහිමිවරුන් කරන්නේ කුමක් දැ’යි සිතෙනු නිරනුමාන ය. ඒ මෝඩ මිනිසා කැඳවා ඒ කියන දෙය කිමෙක් දැ’යි විමසා, බුදු දහමට කරන හානිය පෙන්වා දිය නොහැකි නම්, තිස් එක් දෙනෙක් තම තමන් මහනායක යයි කියා ගැන්මට ලජ්ජා වියයුතු නොවන්නේ ද? තම තමන්ට සියළු වරප්‍රසාද හිමි කර ගැනෙන තනතුරක හිඳිමින් එහි ගෞරවය රැකෙන පරිදි එළඹෙන අභියෝගයන් නිසි පරිදි හඳුනාගෙන සංවිධානාත්මක ව ඒවාට විසඳුම් සොයන්නට ඔබ වහන්සේලාට සංවිධාන ශක්තියක්, දැන උගත්කමක් හෝ අසා දැක පළපුරුද්දක් සහ උවමනාවක් නොමැති බව ලොව ම දනියි. එසේ තිබිය දී, ඉඳහිට ලියන විහිලු සහගත ලියුම්වලට හැරෙන තැපෑලෙන් ම දේශපාලනික නායකත්වය ඉහත දැක් වූ පරිදි පිළිතුරු බඳින්නේ ඊට වඩා වැඩි යමක් ඔබ වහන්සේලාට බැරි බව දන්නා බැවිනි. සමහර විට ඒ මහළු වයසත්, සෞඛ්‍ය හේතූනුත් මත ඇති වූ ගැටළුත් නිසා ද විය හැකි ය. වරක් තලකිරියාගම පේමානන්ද හාමුදුරුවන් වදාළාක් මෙන් සමහර විට එය දිගු කලක් මුළුල්ලේ කරකැත්තෙන් හිස බෑම නිසා ම සිදුවී ඇති තත්වයක් ද විය හැකි ය.

කලකට පෙර අපවත් වී වදාළ තලකිරියාගම පේමානන්ද ලොකුහාමුදුරුවෝ නිතර ගිහි පැවිදි කවුරුත් සිනහ ගැන්වීමෙහි සමත් ව සිටි කෙනෙකි. සමහර විට උන් වහන්සේගේ විහිලු නොගැළපෙන තැන් ද කොතෙකුත් තිබුණි. අසූපස්වන වියෙහි සිටිය දී නිවෙසක දානයකට වැඩමවා වැඩ හිඳින අතර තුර කළ විහිලුවක් නොගැළපුණෙන්, විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ භික්ෂූන් වහන්සේලා සමග ඉතා ම කුලුපග කෙනෙකු වූ ඒ නිවසේ දායක මහත්මයා “ලොකු හාමුදුරුවො වයසත් නොසලකා, කිසි ම වටපිට බැලිල්ලක් නැති ව මොළයක් නැති කෙනෙක් වගේ විහිලු කරනවනෙ,” යයි කියැවුණ දෙයෙහි නොගැළපෙනකම ඇඟවී ය. සුපුරුදු පරිදි මහ හඬින් සිනාසුණ ලොකු හාමුදුරුවෝ “අනේ මහත්තයො අවුරුදු එකොළහේ ඉඳල මේ අද උදේ වෙනකම් දැළි පිහියෙං සූරල සූරල කොහෙ ඉතිරි වෙන්න ද මට මොළයක්,” යයි පැවසී ය.

මහනායක හිමිවරුන්ට ගැලවෙන්නට මගක්..

සද්ධර්මයේ නාමයෙන් තම වගකීම ගැන අල්ප මාත්‍ර වූ හැඟීමක් වත් තවම ඉතිරිව ඇත්නම් මහනායක හිමිවරුන්ට ද ගැළවෙන්නට මගක් ඇතිමුත්, එය ශ්‍රී ලාංකික ආරාමික සංස්කෘතියට ඉඳුරා ම පටහැනි ය. ශ්‍රී ලාංකික ආරාමික සංස්කෘතියෙහි විශ්‍රාම යාමක් නැත. තමන් වියපත් බවත්, එනිසා ම හරි හැටි කල්පනාවක්වත් නොමැති නිසා ශක්ති සම්පන්න කෙනෙකුට කටයුතු කරගෙන යන්නට හැර පසුබසින්නට කැමති වන ලොකු හාමුදුරුවරුන් ඇත්තේ ඉතාමත් ම කලාතුරෙකින් පන්සලක ය. නායක හාමුදුරුවන් සිටිය දී මැරවරකමින් පන්සල් පාලනය කෙරෙන තැන් ද තිබෙන මුත්, ඒතැන්වල සෙසු සියල්ලන් සිටිනුයේ අපමණ අසහනයෙනි. අනෙක් අතට, තමාගේ  බලය අහිමි වී අවලංගු වී යනු ඇතැ’යි බොහෝ ලොකුහාමුදුරුවරුන් සිටින්නේ ද බියෙනි. මෙ නිසා, ශ්‍රී ලාංකික බුද්ධ ශාසනයේ නියමුවන් කෙතරම් ප්‍රමාණයක් වයස් භේදයෙන් තොර ව මානසික ආතතියෙන් පෙළෙන්නේ ද යන්න දන්නේ ඒ අයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පමණි. මෙවන් අදහසකට කවර නාහිමිනමකගේවත් එකඟතාවක් පළ නොවන්නට එය ම හේතු වනු ඇති මුත්, විශාල පිරිසක් නැති නිසාත්, සිටින සියලු දෙන අතර දැන උගත් වුවත් කිසිදු පළක් ප්‍රයෝජනයක් නොගන්නා නිසා ම සිවුරු හැර යන්නටත් බැරි ව මොනමොනවා හෝ කරමින් දවස් ගත කරන විශාල පිරිසක් සිටින නිසාත් මෙය එතරම් අසීරු කටයුත්තක් ද නොවනු ඇත.

මහනාහිමිවරුන් සමගියේ බලය පෙන්විය යුතුය...

පළමුවෙන් ම කළයුත්තේ, මහනාහිමිවරු එක් තැනකට පැමිණ කතාබස් කර වෙනස්කම් තිබිය දී එකතු වී කළහැකි දේ පිළිබඳ නිරවුල් දැනුමක් ඇති කර ගැනීමයි. අප සාමණේර අවධියෙහි විවිධ නිකායික භික්ෂූන් වහන්සේ එක්ව දන්පිළක වාඩි වීමක් නොවී ය. මේ භේදභින්නකම් කෙතෙක් පැතිර තිබිණි ද යත්, ශ්‍රී ලංකාවේ මා කලක් වාසය කළ පන්සලට යාබද ව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික පන්සලක් ද තිබුණි. නිකායික වෙනස අනුව දායකවරු පන්සලේ දෙකේ හාමුදුරුවරු පිළිබඳ ව වෙනස් ව කථා කරනු ඇසුණ අවස්ථා කොතෙකුත් තිබුණ අතර, එකල භික්ෂූන් වහන්සේලා ද එසේ ම විය. 1992 වෙසක් පොහෝ දින එවක සියම් නිකායික භික්ෂුවක් ව සිටි මට  යාබද ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික ආරාමයේ දම්දෙසුමක් පවත්වන ලෙස ඇරයුමක් ලැබුණි. එවකට සියවසකට වඩා පැරණි ඒ පන්සල් දෙක තිබුණේ කුඩා කුඹුරු යායක දෙපැත්තෙහි වූ අතර, දීර්ඝකාලීන විරසකයක සේයා මාත්‍රයන් 1989 වනවිටත් තිබුණ මුත්, 1990 පමණ වනවිට පන්සල් දෙකෙහි ම විසූ අපි බිම් කරුවල වැටෙන විට නියර දිගේ පිළිකන්නෙන් පැමිණ දන්ගෙයි වාඩි වී තිබෙන ගිලන්පසක් වළඳන තරමට කුලුපගකම් දියුණු කර ගැනීමට සමත් වීමු. එදා වෙසක් දම් දෙසුම අවසන් වූ පසු, ධර්ම ශාලාවට වැඩම වූ පණ්ඩිත හාමුදුරුවන් පැවසුවේ සියවසකට වඩා පැරණි එම ධර්මාසනයෙහි සියම් නිකායික භික්ෂූන් වහන්සේ නමක් පැවැත් වූ මුල් ම දම් දෙසුම එය වූ බව ය. අද නිකාය, පාර්ශව, කුඩ, ගොටු අතු, පාත්‍ර, පිඟන් හෝ ඒකාංශ, උභයාංශ වශයෙන් බෙදුණ ශාසනයක් ශ්‍රී ලංකාවේ කොතැනෙකවත් නැති තරම් නිසා, සමගියේ බලය පෙන්වීම නාහිමිවරුන්ට අසීරුවක් නොවනු ඇත.

මහාචාර්ය හජිමෙ නකමුර ජේ.ආර්.ට දුන් පිළිතුර..

ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ජනතාවට විහිලු සපයන්නෙකු වශයෙන් ද ලොවපුරා ප්‍රසිද්ධ ය. මා අසා ඇති එක් කතන්දරයක කියැවෙන්නේ වරක්, ශ්‍රී ලංකාවෙන් පිටත් ව ඕස්ට්‍රේලියාවට යාමට කොළඹින් ගුවන්යානයට නැගුණ ජනාධිපතිවරයාගේ යාබද අසුනෙහි කීර්තිමත් මහායාන බෞද්ධ විද්වතෙකු වූ මහාචාර්ය හජිමෙ නකමුර හිඳ තිබුණ බවත්, පාලි බුදුදහම පිළිබඳ ව ප්‍රාමාණිකයෙකු වූ ජයවර්ධන ජනපතිවරයා යාබද අසුනේ මහාචාර්යවරයා සමග කුලුපග වන්නට සිතා, තමා පාලි බුදු දහම පිළිබඳ ප්‍රවීණයෙකු බව සඳහන් කර සංස්කෘත බුදුදහම පිළිබඳ මහ ඇදුරුතුමෙකු සමග අසුන්ගෙන යාමට ලැබීම ගැන සතුටු වන බවත්, පාලි බුදු දහමෙහිත්, සංස්කෘත බුදු දහමෙහිත් ප්‍රධාන වෙනස කුමක්දැ’යි විමසීලු. එ් විමසුමට මහ හඬින් සිනාසී තිබෙන මහාචාර්යවරයා “මං හිතුව ඔබතුමාගෙ පළවෙනි ප්‍රශ්නෙ ඕක වෙයි කියල. ඔබතුමාල වෙනස්කම් සලකල හැමදා ම බෙදිල ඉන්ඩ ම හිතන ජාතියක්නෙ,” යයි කියා නිහඬ වීලු. අද තමන්ගේ රටේ ම දේශපාලන නායකත්වය විසින් ම නොතකා හරින තැනට පත්ව සිටින ශාසනික නායකත්වයන්ට මේ විහිලුවලින් ඉගෙන ගත හැකි දේ බොහෝ ය.

අඹන්වැල්ලේ පඤ්ඤාසේඛර අනුනායක හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්න...

මා බෙහෙවින් ගරු කළ අඹන්වැල්ලේ පඤ්ඤාසේඛර අනුනායක හාමුදුරුවන් අවසන් වරට මුන ගැසුණේ මහනුවර වැව රවුමේ දී ය. මතක හැටියට ඒ 2003 වසරේ අගෝස්තු මාසයෙන් පසු දවසක ය. ඈත දි ම මා දැක නැවතුණ උන් වහන්සේ, මා සම්බන්ධ ව සිටි විද්‍යෝදය පිරිවෙණෙහි උන්වහන්සේගේ ශිෂ්‍ය දෙනමක් අකාලයේ අපවත් වීම ගැන සංවේගය පළ කරමින් “ශරීර සෞඛ්‍ය ගැන කිසිම සැළිකිල්ලක් තියෙන්න නැතිව ඇති නේද?" යයි විමසුවේ මහත් සංවේගයෙනි. සිරුරට ව්‍යායාමයක් අවශ්‍ය නිසා පා ගමනින් ම දළදා මාළිගාවේ සිට මල්වතු මහා විහාරයට වැඩමවන බව පැවසූ පසු උන් වහන්සේගේ සුවදුක් විමසූ විට වදාළේ, විවිධ තනතුරු, වගකීම් පැවරෙන බවත් සියල්ල ප්‍රතික්ෂේප කර පවරා තිබෙන අනුනායක පදවියත් කැමති කෙනෙක් පවරාගෙන නිදහසේ විවේකී ව ඉන්න හරින්නැ’යි දැන් වූ බවත් ය. තවත් ටික වේලාවක් සාමීචියෙහි යෙදී සිටි උන් වහන්සේ සුපුරුදු නිහතමානී සිනහව පළ කරමින් වැඩමවන්නට සැරසුණෙන් මම පදික වේදිකාවෙහි ම පසඟ පිහිටුවා වැඳ වැටුණෙමි. "මෙ මහ පාර වඳින්න පුදන්න තැනක් නෙවෙයිනෙ" යයි සිනා සුණ උන් වහන්සේ පසුව අපවත් වූ බව සැළ විය. අද අපට තිබෙන කණගාටුදායක ම දෙය ඒ නිහතමානීකම භික්ෂූන් වහන්සේ බහුතරය අතරින් අතුරුදන් වීම වන අතර, අවශ්‍ය ම වන්නේ, වයස්ගත ව තනතුරු අතහැරිය නොහැකි නම්, තනතුර තබාගෙන වැඩ කටයුතු විදග්ධ ලෙස, කාලානුරූප ලෙස, නිරවුල් ව රට තුළත් ලෝකයා අතරත් ගෞරවණීය හැඟීමක් ඇති වන ලෙස ඉදිරියට පවත්වා ගෙන යාමට වැඩ පිළිවෙළක් සැකසීම වන අතර, එය නොකළ හැක්කක් නොවේ.

විශ්ව බුද්ධිගේ අර්බුදය විසඳිය නොහැකි මහනායකවරු රටේ ප්‍රශ්න විසඳන්නට උපදෙස් දෙන්නේ කෙසේ ද?

මෑත කාලයේ මහා ආන්දෝලනයක් ඇති කළ ‘විශ්ව බුද්ධි’ කළ දේ බලන්න. ඔහු ‘තකතිරුවෙකු’ බව අමුතුවෙන් කිවයුතු නැති වුවත්, ඔහු උපන් ගෙයි තකතිරුවෙකු නොවේ. ඒ තකතිරුකම ඔය මහනායකවරු තිස් එක් දෙනාගෙන් කෙනෙකු මහනායකකම් කරන නිකායක කලක් පැවිදි ව සිටීමෙන් හට ගැනී පෝෂණය වූවක් වන අතර එය වේදිකා ගත කළේ ඔහු පමණි. මහනාහිමි නමගේ ලිපියෙන් ඒ ගැටලුව විසඳී නැති අතර, විසඳෙන්නේ ද නැත. එසේ වන්නේ එය මානුෂික ගැටලුවක් නිසා ය. එය ජීවිතයක් පිළිබඳ ප්‍රශ්නයක් නිසා ය. කළයුතු ව තිබුණේ, ඒ තරුණ භික්ෂුව කැඳවා ඔහුට අසාධාරණයක්, අකටයුත්තක් සිදුව තිබෙන බවට සංවේදී වීම නොවේ ද? ඔහු අද සිටින කවර අර්බුදයෙන් හෝ නැගී සිටීමට ඔහුට උදව් කිරීම නොවේ ද? දැන් සිදු ව තිබෙන්නේ කුමක් ද? ඔහුගේ තකතිරුකම මත ඔහු කරන්නට යන්නේ කාටත් තේරෙන බසින් කිවුවොත්, “මට කෙළෝපු එවුන්ටත් කෙළෝල ම තමයි මං පස්ස බලන්නෙ,” වැනි වැඩක් නොවේ ද? මෙය තව තවත් පිරිස එකතු කරගෙන නිමක් නොවෙන අර්බුධයක් බවට පත් වන තෙක් මහනායකවරු තිස් එක් දෙනෙක් කරන්නේ කුමක් ද? ශාසනයකට මඩ ගසන මේ තරුණ ගැටයෙකුගේ අර්බුදයක් විසඳිය නොහැකි අය රටක් කරවන හැටි ගැන දෙන උපදෙස් දේශපාලකයන් නොසලකා හැරීම අරුමයක් ද?

HIV සිරෝසීස් රෝග වලට භාජනය වන භික්ෂූන් ගණනින් ඉහල යමින්..

මහනාහිමිවරු පෞද්ගලීකරණය ගැන ලියුම ලියූ දා ලංකාදීප පුවත් පත පළ කර තිබුණ දිනයේ ම තවත් පුවතක් පළ වී තිබුණි. එහි කියැවුණේ, “ක්ෂුද්‍රමූල්‍යායතනවලින් ණය ලබාගත්තවුන්ගෙන් දෙසිය ගණනක් එදින වනවිට සියදිවි නසාගෙන තිබෙන බව,” ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරන බව ය. සමහර විට, ක්ෂුද්‍ර මූල්‍යායතනවලින් ණය ගන්නා තරමේ අය මහනාහිමිවරුන්ට පළතුරු වට්ටි රැගෙන නොඑන නිසා එය උන් වහන්සේලාට වැදගත් පුවතක් නොවූවා වන්නට ද පුළුවන. මහ නායක හාමුදුරුවන් නොදන්නවාට ක්ෂුද්‍රමූල්‍යායතනවලින් ණය ලබාගෙන ගැටළුවලට පත්වන භික්ෂූන් වහන්සේලා ද සිටිති. ඒ අතර, මදිරාබාධය, මානව ප්‍රතිශක්ති ඌනතා වෛරස ආසාදනය (HIV) වැනි රෝගයන්ට භාජනය වන භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාවන් ද ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවත්නා බව ශාසන භාරධාරීන් වහන්සේලා නොදන්නේ යයි සිතමි.

වගකිවයුතු වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට කළ හැකි එක දෙයක් තිබේ...

සැබවින් ම, වගකිවයුතු වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට කළ හැකි එක දෙයක් තිබේ. ඒ, තම තමන්ගේ සංඝ සභාවල සිටින දැන උගත් ජව සම්පන්න භික්ෂූන් කැඳවා ශාසන සංවිධානය ගොඩ නැංවීමේ වගකීම උන් වහන්සේලාට පවරා ධර්මානුකූල ව මග පෙන්වීම ය. එහි දී කළයුතු ව තිබෙන දේ පෙන්වා දිය හැකි නිහඬ භික්ෂුන් වහන්සේ මෙන් ම, ශාසන හිතකාමී ගිහි වියතුන් විශාල පිරිසක් ද ලොව පුරා විසිර සිටිති. අඩු ම තරම තම තමන්ගේ මහනායකකමට ඇතුළත් වපසරියෙහි පන්සල් කීයක් තිබේ ද? ඒ පන්සල් සතු නිශ්චල චංචල දේපළ මොනවා ද? ඒ පන්සල්වල දායක ගමෙහි වපසරිය කෙතෙක් ද? ඒ ඒ පන්සලෙහි සිටින පැවිදි සිසුන් ගණන කෙතෙක් ද? ඒ අයගේ වයස්, අධ්‍යාපන සුදුසුකම්, ඉගෙන ගන්නා ස්ථාන වාර්තා කරගත හැකි ය. ඒ විහාරාරාමවල තිබෙන අඩුපාඩු සොයා බැලීම කිසිසේත් ම දුෂ්කර නොවන්නේ, ඒ තරම් විශාල සංඛ්‍යාවක් පන්සල් මෙන් ම භික්ෂූන් වහන්සේලා ද නොමැති බැවිනි. තරුණ භික්ෂුන් වහන්සේලාට අරුමයක් නොවන නූතන තාක්ෂණය යොදාගෙන උන් වහන්සේලා ඒ පැවරෙන වගකීම විද්‍යානුකූල ව ඉටු කරනු ලබන බවට කිසිදු සැකයක් නොමැත. එසේ නොවන්නට “මේ නාකි මළ ඉලවු එක්ක මොකවත් කරන්ඩ බෑ,” කියමින් උන් වහන්සේලා ද මහලු වයසට එළඹෙනු ඇත.

තථාගත ධර්මයට පටහැනි කොයි තරම් දේ ශ්‍රී ලංකාවෙන් දිනකට නිකුත් වෙනවා ද?

මහළු මහනාහිමිවරුන් නිදිකිරා වැටෙන අතර, බුදු දහමට වන හානිය මෙතෙකැ’යි කිව නොහැක. පාලි භාෂාව, පිළිබඳ ස්වල්ප මාත්‍ර හෝ දැනුමක් නොමැති ව පාලි සූත්‍ර සරල සිංහලෙන් ලියන්නට ගිය කිරිබත්ගොඩ ඥානානන්ද කරගෙන යන්නට පටන්ගත් ව්‍යාපාරය ඇණහිටවූ නමුත්, අදටත් අන්තර්ජාලය ඔස්සේ ඒ පොත් විකුණන බව මහනාහිමිවරු තිස් එක් දෙනාගෙන් එක් අයෙකු හෝ දන්නවා ද? ඒ හැරුණ විට, තථාගත ධර්මයට පටහැනි කොයි තරම් දේ ශ්‍රී ලංකාවෙන් දිනකට නිකුත් වෙනවා දැ’යි ගිණිය නොහැකි තරම් ය. මේවා නියාමනය කළ හැකි ආයතනයක් ගොඩ නැගීමට තිබෙන එක ම බාධකය නායකත්වයෙහි පවත්නා නිද්‍රාශීලී භාවය මිස අන් කවරෙක් ද? ඒ අතර ම, හැකි ඉක්මනින් බුදු සසුනට හානිකරන සියල්ලන් පිළිබඳ ව නිශ්චිත ප්‍රතිකාරාත්මක වැඩ පිළිවෙළක් අනුගමනය කළ යුතුව තිබේ. එසේ නොවන්නට තැනින් තැන ගිහි-පැවිදි කෝලාහල, පැවිදි-පැවිදි කෝලාහල සමාජ මාධ්‍යවලින් දැක ගැන්මට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇත.

මොන ම ආකාර වූ හෝ බෞද්ධ ගොඩනැගිලි හැදීමේ ව්‍යාපාරයන්ට සබුද්ධික බෞද්ධ ප්‍රජාව විරුද්ධ විය යුතු ය...

තැනක කවර බෞද්ධාගමික ගොඩනැගිල්ලක් හෝ ඉදිකර විවෘත කරන්නට එන්නැ’යි ඇරයුම් ලැබුණ පසු ගොස් කතා පවත්වා දුන් දෙයක් වළඳා, පිදූ පිරකර ද කුදලාගෙන, ගමන් ගාස්තුවත් රැගෙන ආපසු ඒමට වඩා තම තමන්ගේ නායකත්වය යටතේ තිබෙන විහාරස්ථානයකට ගොඩනැගිල්ලක් අවශ්‍යතාව පරිදි ඉදිකර ගැනීමට අවශ්‍ය නිර්දේශය ලබා දිය නොහැකි ද? කිසිදු මහනායක නමකට දහස් ගණනක් විහාරස්ථානවල කටයුතු කරන්නට නැත. එවන් සංවාදයක දී, අඩු ම තරම, ගොඩනැගිලිවලින් බුදුසසුන බැබළවිය නොහැකි බවවත් කියා දෙන්නට ඉඩක් ලබා ගතහැකි වනු ඇත. මා දන්නා විහාරාධිපති හිමි නමක් පණස් අටවෙනි වියෙහි දී රෝගාතුර ව රෝහල් ගත කළ අතර, වෛද්‍යවරයා පැවසුවේ, ඊට වසර විසි පහකට වැඩි කලෙක සිට ඒ හිමි නම ප්‍රතිකාර කළයුතු මානසික රෝගියෙකු ව හිඳ තිබෙන අතර, ඒ රෝග චිකිත්සා විස්තර ලබාදෙන ලෙස ය. එවැනි තොරතුරක් මා නොදන්නා බව වෛද්‍යවරයාට පැවසූව ද, උන් වහන්සේගේ ක්‍රියා කලාපය මානසික රෝගියෙකුගේ ක්‍රියාකලාපය වූ බව මට පැහැදිළි විය. ඊට නොබෝ දිනෙකට පසු අපවත් වී වදාළ උන් වහන්සේ සිය විහාරස්ථානයෙහි තෙමහල් උපෝසථාගාරයක් ඉදි කරවීම අරඹා තිබුණි. අපවත් වූ දින වනවිට ආවාස ගෙය ඉදිරියෙහි හොල්මනක් සේ දිස් වූ එය, මෑතක දී මා විමසා බැලූ විට දැන ගත්තේ, දොර ජනෙල් දමා වසා දමා තිබෙන බවත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොගැනෙනා බවත් ය. මානසික රෝගී තත්වය නිසා, අර හිමි නමට අවශ්‍ය ව තිබුණේ, පළාතේ කිසිදු විහාරස්ථානයක නොමැති තෙමහල් ගොඩනැගිල්ලක් තමාගේ පන්සලෙහි ඉදිකරවීම විනා අන් යමක් නොවේ. ශ්‍රී ලංකාවේ තිබෙන්නේ මිනිසා හදා රට හදමු යයි වදාරමින් ගොඩනැගිලි හදමින් හිඳ අපවත් වී වදාරණ පන්සල් සංස්කෘතියක් මිස හැදුණ මිනිසෙකු නැති බෞද්ධ සංස්කෘතියක් නොවන්නේ ද? මේ නිසා. මොන ම ආකාර වූ හෝ බෞද්ධ ගොඩනැගිලි හැදීමේ ව්‍යාපාරයන්ට සබුද්ධික බෞද්ධ ප්‍රජාව විරුද්ධ විය යුතු ය. එසේ නොවන්නට මිනිසුන්ගේ ගැටලු විසඳෙන පරිසරයකට භික්ෂූන් වහන්සේලා යොමු වනු දක්නට නොහැකි වනු ඇත.

-කුඩගම්මන සීලරතන හිමි


හිමි ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/80

No comments:

Post a Comment