Saturday, 24 February 2024

රංගජීවගේ අපත වැඩ නිසා මාලිගාකන්ද අධිකරණය ඉදිරියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයම හෑල්ලුවට ලක් වේ..!

-විශේෂ ලියුම්කරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.24, ප.ව.9.45) කලයක් තරම් ඇඟක් තිබුනද අලයක් තරම්වත් මොළයක් නැති පොලිස් පරීක්ෂක රංගජීවගේ අපත වැඩ නිසා පසුගියදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයම හෑල්ලුවට ලක් විය.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ ස්ථානාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හෙවත් 'නාකොටික් රංගජීව' නමැත්තා විසින් පොලිස් රාජකාරිවලට අදාල සිදුවීම් සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයන් නිකුත් කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් පෙබරවාරි 22 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තක් අතරතුර විශේෂ අවධානයක් යොමුව තිබුණි.

වැඩේට කලින්ම ෆේස්බුක් එකෙන් වැරදිකරු කරලා..

එහිදී නාකොටික් නිලධාරීන් විසින් සිවිල් ඇඳුමින් ගොස් ශිරාන් බාසික් නමැත්තාගේ පුත්‍රයෙකු පැහැරගැනීමට ගත් උත්සාහයක දී අදාල තරුණයා පලා යාම සහ එහිදී කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාල නඩු කටයුත්ත අතරතුර අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥවරුන් පෙන්වා දුන්නේ අදාල මෙහෙයුම රංගජීව නමැති නිලධාරියා විසින් සිය පුද්ගලික න්‍යාය පත්‍රයක් අනුව මීට පෙර සිට සැලසුම් කර ඇති බවයි. ඒ බව තහවුරු කරමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට දන්වා සිටියේ නාකොටික් රංගජීව නැමැත්තා විසින් සිය ෆේස්බුක් ගිණුමෙන් ඒ බව අනාවරණය කොට ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික්ගේ ඡායාරූපයක් ද පළ කර තිබූ බවයි.

නීතිඥවරුන්ගේ ප්‍රබල කරුණු දැක්වීම් හමුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් වෙත සිය දැඩි අප්‍රසාදය පළ කරමින් පවසා සිටියේ රංගජීව නමැත්තාගේ අදාල ක්‍රියාකලාපය රාජ්‍ය නිලධාරියෙකුට තහනම් වන කටයුත්තක් බවත්, විමර්ශන නිලධාරියෙකුට කිසිදු පුද්ගලයෙකු හෝ සැකකරුවෙකු සම්බන්ධයෙන් පුද්ගලික න්‍යායපත්‍ර පැවතිය නොහැකි බවයි. මෙලෙස පල කරනු ලබන සමාජ ජාල ප්‍රකාශයන් හරහා පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වන බව ද පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ සැකකරුවෙකුට වුවත් ලැබිය යුතු අයිතිවාසිකම් රැසක් පවතින බවයි. එසේම නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට හානිවන ආකාරයෙන් සමාජ ජාල හරහා සිදු කරනු ලබන මෙවැනි ක්‍රියා හේතුවෙන් බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් රාජ්‍ය නිලධාරියෙකු ද වන අදාල නිලධාරියා විසින් සිදුකරනු ලැබ ඇති බවයි. එවැනි තත්වයක් තුල රංගජීව නැමැත්තාගේ අදාල සටහන් පෙන්වීමෙන් පමණක් ඉහළ අධිකරණවලින් සහන ලබා ගැනීමට පුද්ගලයින්ට හැකියාවක් ලැබෙන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ නදීන් බාසික් යන අයට තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට අභියාචනාධිකරණය හරහා රිට් ආඥාවක් ලබා ගැනීමට අවස්ථාවක් ද මේ නිසාම පමණක් ලැබී ඇති බවයි.

අධිකරණ ශාලාවම සිනහා සාගරයක්..

මෙහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකු අධිකරණය හමුවේ පවසා සිටියේ නාකොටික් රංගජීවගේ අදාල ගිණුම ව්‍යාජ ගිණුමක් හෝ හැක්වීමකට ලක්ව තිබිය හැකි බවයි. අධිකරණ ශාලාවම සිනහා සාගරයක් කරමින් කළ එම ප්‍රකාශය ඉල්ලා අස්කරගනිමින් හා අදාල ගිණුම රංගජීවගේම බව පිලිගනිමින් තවත් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමක් සිදුකිරීමට පියවර ගන්නා බවයි.

නීතිය ඉදිරියේ පිළිගැනීම නැතිවෙනවා..

එහිදී මහේස්ත්‍රාත්වරිය යලි අවධාරණය කර සිටියේ රංගජීව වැනි නිලධාරීන්ගේ ක්‍රියා හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවත්, අවංක නිලධාරීන්ගේ රාජකාරිත් සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක්වන බවයි. එසේම එවැනි කටයුතු හේතුවෙන් පොලිස් විමර්ශනයන් ද ඵල රහිත වනු ඇති බවත් එම විමර්ශනයන්ට අදාලව නීතිය ඉදිරියේ ලැබෙන පිළිගැනීම ද අහිමි වන බවයි.

රට පොලිස් රාජ්‍යයක් කරා යන ආකාරය

මෙහිදී නිතිඥවරුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම නඩුවට අදාළ විමර්ශකයින්ගේ ප්‍රධානියා වන්නේ ද රංගජීව නමැත්තා බවයි. එබැවින් මෙය හුදෙක්ම පුද්ගලික අරමුණු වෙනුවෙන් නිර්මාණය කරන ලද නාටකයක් බැවින් සිදුවීමට අදාල සියලුම සීසීටීවී දර්ශන සංරක්ෂණය කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන මෙන් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එසේම නීතිඥවරුන් පවසා සිටියේ රංගජීව විසින් ප්‍රසිද්ධ කර ඇති අදාල ප්‍රකාශයන්ට පිලිතුරු ලෙස එක් කර ඇති තර්ජනයන් දුටු විට සමාජය පවා දැඩි භීතියකට පත් වන බවයි. රට පොලිස් රාජ්‍යයක් කරා යන ආකාරය ඉන් පැහැදිලිව පෙනෙන බවත් නීතිඥවරු පෙන්වා දුන්හ. එබැවින් ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන ලෙස නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

(රංගජීව ප්‍රසිද්ධ කරන ලද බහුබූත ෆේස්බුක් සටහන් කිහිපයක සේයාරූ මෙහි දැක්වේ)

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි






No comments:

Post a Comment