Sunday, 25 February 2024

මොරටුව ඉංජිනේරු පීඨ සභාපති ධූරයට NPP දෙදෙනෙක් තරඟයක..!

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.25, ප.ව.6.20) මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සඳහා විවිධ පාර්ශවයන් නියෝජනය කරමින් ශිෂ්‍ය නියෝජිතයෝ තේරීපත් වෙති. පසුගිය වර්ෂයන්හි එසේ තේරී පත්වූ නියෝජනයන් තුල ජාතික ජන බලවේගයට හිතවත් සිසුන් තනතුරු සඳහා තේරීපත්වනු බොහෝවිට දැකිය හැකිවිය. එහෙත් පසුගිය වකවානුවේ රටතුල මතුවූ ගෝඨාභය හිතවාදී රැල්ල සමග පැනනැගි NPP විරෝධයත් සමගින් පොදුජන පෙරමුණට හිතවාදී සිසුන් ද තනතුරු සඳහා තේරී පත්ව තිබුණි.

මෙම වසර සඳහා ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ තනතුරු පත්කිරීම මේ දිනවල සිදුවෙමින් පවතින අතර එහි සභාපති තනතුර සඳහා පාර්ශව දෙකක් නියෝජනය කරමින් සිසුන් දෙදෙනෙක් මේ වනවිටත් නාමයෝජනා භාරදී ඇත. රසායන ඉංජිනේරු දෙපාර්තුමේන්තුව නියෝජනය කරන ජනිත් රාමණායක සහ භූ සම්පත් ඉංජිනේරු දෙපාර්තුමේන්තුව නියෝජනය කරන බිනුර ද සොයිසා මෙසේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව ඇත. 

ඒ අනුව ඉංජිනේරු පීඨ සභාපති තනතුර සඳහා නිළවරණයක් එළැඹෙන පෙබ. 29 වන දින පැවැත්වීමට පීඨාධිපතිවරයා විසින් දැනටමත් සියලු කටයුතු සූදානම් කර ඇත. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම දෙපාර්ශවයේ අපේක්ෂකයින් දෙදෙනාම විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර සිටම NPP ක්‍රියාකාරීන් වීමයි. ඔවුන් දෙදෙනාගේම පවුල් පසුබිම් පවා NPP හිතවාදී පවුල් වන අතර කලක පටන් සමාජ මාධ්‍ය තුල පවා NPP  හිතවාදී ස්ථාවරයකින් ඔවුන් කටයුතු කර ඇත.

මීට පෙර 2019 වසරේදී ගෝඨාභය රැල්ලත් සමග මොරටුව විශ්වවිද්‍යාලයේ බහුතර ශිෂ්‍යයින්ගේ විරෝධයට NPP හිතවාදී ශිෂ්‍යයන් පාත්‍ර වූ අතර ඔවුනට එරෙහිව වෙනත් පාර්ශවවල සිසුන් කිහිප දෙනෙක් ශිෂ්‍ය සංගම් තනතුරු සඳහා පත්කර ගැණින. එහෙත් අවසානයේ තහවුරු වූයේ එසේ තෝරා පත්කර ගත් ශිෂ්‍යයින්ද NPP හිතවාදී සිසුන් වූ බවයි. අද වන විට එම සිසුහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන්ව ජාතික ජන බලවේගය සමග සක්‍රීය දේශපාලනයේ නිරත වෙමින් සිටිති.

No comments:

Post a Comment