Monday, 12 February 2024

අරක්කු මුදලාලිලා හා සීනි හොරු සමග ආණ්ඩුවත් සජබත් එකතු වී තමන්ට කැපූ කැපිල්ල ගැන පාඨලීගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..!

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.12, ප.ව.11.30) ආරම්භයේ සිට රජයට බිලියන ගණනින් ලාබ උපාය දුන් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුරෙන් පලිගැනීමක් ලෙස අරක්කු මුදලාලිලා හා සීනි හොරුන් දේශපාලඥයන් අතකොලු කරගෙන තමන්ව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලැබූ රාජාසන කතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබ මන්ත්‍රීන් හා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වර්ජනය කරන අවස්ථාවේදී තමන් ඇතුළු විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් සභා ගැබේ රැදී සිටීම මුල් කරගනිමින් බව පාඨලී චම්පික රණවක මහතා හෙළිකරයි.

අපි තාත්තලා වඩා ගෙන ඇවිල්ලා පුටුවේ ඉන්දපු අය නොවෙයි

" මාව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කරලා තියෙනවා. ඉවත්කරලා තියෙන්නේ ආණ්ඩුව නොවේ, විපක්ෂය.  පසුගියදා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා රාජාසන කතාව කරන්න. අපිත් ගියා පාර්ලිමේන්තුවට. ඒක සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායයක්. කතාව ආරම්භ කරන කොටම වගේ, විපක්ෂ නායකතුමයි, විපක්ෂයේ සංවිධායක කිරිඇල්ල මහත්තයයි, නැගිටලා ගියා. ඊට පහුවෙනිදා, මේ රාජාසන කතාවට විවාද තිබුණා. විවාදයට මමත් වෙලාවක් ඉල්ලලා තිබුණා. මට වෙලාවක් තිබෙන බව ඊට කලින් දවසේ මට දැනුම් දුන්නා. නමුත් මට එදා දැනුම් දුන්නා මගේ කතාව කපලා කියලා. මම කිරිඇල්ල මහත්තයාට කතා කරලා ඇහුවා, ඇයි කතාව කැපුවේ කියලා. මොකද පහුගිය කාලය පුරාවටම අපිට දෙන්නේ සතියකට මිනිත්තු හතරයි පහයි. මිනිස්සුත් අපෙන් අහනවා දැන් කතා කරන්නේ නැද්ද කියලා. මොකද පාර්ලිමේන්තුවේ පැය ගණන් බදාගෙන වන් මෑන් ෂෝ එකක් තමයි යන්නේ. කවුරු කීවත් ඒක තමයි අද පාර්ලිමේන්තුවේ යතාර්ථය. ඒකට ප්‍රධාන දෝෂාරෝපනය විඳින්න ඕනෑ කතානායක වරයා. මුළු පාර්ලිමේන්තුවටම කාල කලමණාකරණයක් නෑ. ඉතින්  කිරිඇල්ල මහත්මයා කිව්වා රාජාසන කතාවේදී රනිල් වික්‍රමසිංහට විරෝධය පාලා නැගිටලා ගියේ නැති අයට, වාඩිවෙලා හිටපු අයට කතා දෙන්න එපා කියලා නායකතුමා කිව්වායි කියලා. නායකතුමා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. මං කිව්වා ඔබතුමා කොහොමද අපි ගැන තීරණය කරන්නේ? අපි වෙන පක්ෂයක්. මම ස්වාධීන මන්ත්‍රී කෙනෙක්. එහෙම කරන්න බෑ කියලා. නෑ නෑ මට කතා කරලා වැඩක් නෑ මේක නායකතුමාගේ නියෝගය කියලා කිරිඇල්ල මහත්තයා කිව්වා.  මං කිව්වා අඩු තරමින් ඇයි අපිට ටෙක්ස්ට් පණිවිඩයක්වත්, දුරකතනෙන්වත් දැනුම් දුන්නේ නැත්තේ අපි මේක වර්ජනය කරනවා කියලා. එතුමා කිව්වා ඉතින් නායකයා නැගිටලා යන කොට දැනගන්න ඕනේ පස්සෙන් එන්න කියලා. ඉතින් මම කියන්න ඕනේ එහෙම කට්ටිය ඇති. නායකයෝ නැගිටිනකොට නැගිටින්න. වාඩිවෙනකොට වාඩිවෙන්න. යනකොට පස්සෙන් යන. එහෙම අය ඇති අපි ඒ ජාතියෙ අය නොවෙයි. ඍජුව කොන්ද කෙළින් තියාගෙන ඕන අරගලයකට යන නායකයෝ එක්ක අපි යනවා. එගොල්ලෝ හරියකට නායකත්වය දෙන්නේ නැත්නම් අපි නායකත්වය දෙනවා. අපි තාත්තලා වඩා ගෙන ඇවිල්ලා පුටුවේ ඉන්දපු අය නොවෙයි. අපි අපේ දෙපාවල හයියෙන්, මේ රටේ සමාජ ව්‍යාපාරවල හයියෙන් දුක් මහන්සියෙන් දුක් විඳලා මෙතැනට ආපු අය. ඒ නිසා කාගෙවත් එහෙයියෝ වෙන්න අපි සූදානම් නැහැ."

මෙම හේතුන් පාදක කරගනිමින් තමන්ව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුරෙන් හා රාජ්‍ය මුදල් කාරක සභාවෙන් ඉවත් කිරීමට මෙම පිරිස්  කටයුතු කර ඇති බවත් එම ක්‍රියාවන් සිදුකරනු ලබන්නේ තමන් විසින් කාරක සභා සභාපතිවරයා ලෙස හොර අරක්කු මුදලාලිගේ ජාවාරමත්, සීනි බදු හොරුන් හා බදු නොගෙවූ පිරිස් හෙළිදරව් කිරීමේ සිදුවීම් වලින් පලිගැනීමට බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි. එමෙන්ම මෙම පලිගැනීම් සිදුකරණ විපක්ෂ මන්ත්‍රීන් සීනි බදු වංචාකරුවන්ගේ ගොඩනැගිලි වල පදිංචි වී සිටින පිරිස් බවත් රන්ජන් රාමනායක මහතා පවසන පරිදි ඔවුන් සියලු දෙනා යහලුවන් බවද චම්පික රණවක මහතාද පවසා සිටියේය.

මේගොල්ලෝ ඔක්කොම ඉතින් මේකෙන් ප්‍රකෝපයට පත් වුණා

"මට නම් මේ නම කැපිල්ල පේන්නේ දෙතුන් පැත්තකම වුවමනාවට වෙච්ච දෙයක් හැටියට. ඇයි? පසුගිය නොවැම්බර් මාසේ ඊටත් පෙර පසුගිය අගෝස්තු මාසෙදි මේ රටේ මත්පැන් බෝතල් වල තියෙන ව්‍යාජ ස්ටිකර පරිහරණය කරන ක්‍රමවේදය අපි හෙළි කරලා දුන්නා. බිලියන ගාණකින් රටේ ආදායම වැඩි වුණා. අවසානයේ මොකද වුණේ? ඒ සුරාබදු කොමසාරිස්ටත් ගෙදර යන්න වුණා. ඒ බලපත් නවත්තලා රටට බිලියන ගානක් බදු හොයලා දීපු මටත් කාරක සභාවේ සභාපතිකම නැතුව ගියා. ඉතින් කවුද පිටිපස්සේ ඉන්නේ කියලා හිතාගන්නකෝ. ඒ වගේම මේ රටේ දැවැන්ත සීනි වංචාවක් වුණා 2021. ආයේ එවැනිම වංචාවක් වුණා 2023. එකම සමාගම් කිහිපයක්. අපි නියෝගයක් දුන්නා කාරක සභාවෙන් විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මොවුන්ගෙන් ඒ අයුතු ලාභය අය කරගන්න කියලා. මම කියනවා ඔය සමහර විපක්ෂයේ දූෂණය ගැන කතා කරන අයගේ දේපල අද ඒ සීනි වංචාකාරයින්ගේ විශාල ගොඩනැගිලිවල තියෙන්නේ. ඒ වගේම ඒ වංචාකාරයින්ගේ හයියෙන් තමයි ඔය ගොඩක් පෝස්ටර්, බැනර්, කටවුට් ඇලවෙන්නේ. ඉතින් තරහයි. ඒක තමයි කාරණය. රුපියල් කෝටියට වඩා වැඩියෙන් බදු නොගෙවපු 1272 ක් ඉන්නවා. බැංකුවලට කෝටි ගණන් පොලු  තියපු ලැයිස්තුව එළි කරා. මේ රටේ ප්‍රබල ඇමති කෙනෙකුත් ඉන්නවා ඒ ලැයිස්තුවේ. හිටපු ඇමතිලත් ඉන්නවා. මේගොල්ලෝ ඔක්කොම ඉතින් මේකෙන් ප්‍රකෝපයට පත් වුණා."

අදාල වීඩියෝ පහත දිගුවල

https://fb.watch/qaeyHL0qtZ/

https://fb.watch/qaeA8nhie8/

No comments:

Post a Comment