කතානායකයාත් කෙහෙළිය ගිය පාරේ..! කතානායකයා අධිකරණයට අපහාස කළැයි නඩු..!
-චන්ද්‍රප්‍රදීප් ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.11, ප.ව.9.30) ලංකාවේ මෙතෙක් පහළ වූ නින්දා සහගත තරම් පක්ෂග්‍රාහී කතානායකවරයා ලෙස කිරුළු පලන් මහින්ද යාපා අබේවර්ධන සිතා මතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා නගමින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට නීතිඥවරු පිරිසක් සූදානම් වන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
කතානායක වැරැද්ද කෙළේ දැන දැනමයි...
ඒ ඔහු පසුගියදා ජනතාවගේ කට වහන ඔන්ලයින් පනත සම්මත කර ගත් නීති විරෝධී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ආකාරය හේතු කර ගෙන ය. නීතිඥවරු තර්ක කරන්නේ මෙසේ ය.
මෙකී පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව ඊට එරෙහිව පුද්ගලයන් සහ සංවිධාන රාශියක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියහ. එකී පෙත්සම් සියල්ල ඉතා සැලකිල්ලෙන් අධ්‍යයනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එකී පනතට ගෙන ආ යුතු සංශෝධන රාශියක් නිර්දේශ කළ ද ඒවා මග හැර පමණක් නොව සිතා මතා වගන්ති වල අංක පටලවා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ වලට පයින් ගසමින් පනත සම්මත කර ගත්තේ ය. ඉන්පසුව විපක්ෂය පුන පුනා කතානායක වරයාට කියා සිටියේ මෙකී වැරදි සහගත ලෙස සම්මත කළ පනත නීතියක් බවට පරිවර්තනය කෙරෙන කතානායක අත්සන ඊට නොයොදන ලෙසත් ඊට පෙර අදාල සංශෝධන කළ යුතු බවයි. නමුත් කතානායකයා ඒ ඉල්ලීම් පයිසෙකටවත් නොතකා සිය අත්සන ඊට යෙදූ අතර දැන් එය නීතියක් ලෙස ක්‍රියාත්මක වනවා පමණක් නොව ඒ යටතේ කිහිප දෙනෙකු අත් අඩංගුවට ද රැගෙන තිබේ.
කතානායකවරයා පුද්ගලිකව වැරදිකරුවකු වන හැටි..
මෙම කාරියේ දී කතානායකවරයා පුද්ගලිකව වැරදි කරුවකු වන්නේ මෙසේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිර්දේශ ලබා දෙන්නේ පෙත්සම් කරුවන්ට නොව නිල වශයෙන් කතානායකවරයාට ය. කතානායකවරයා එකී නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 වැනි වගන්තිය අනුව ය. 123(4) වගන්තියේ පැහැදිලිව මෙසේ සඳහන් වේ.
"යම් පනත් කෙටුම්පතක් හෝ පනත් කෙටුම්පතක විධි විධාන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යැයි තීරණය කර ඇත්තා වූ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යැයි තීරණය කරන ලද සේ සැලකෙන්නා වූ අවස්ථාවක ඒ පනත් කෙටුම්පත හෝ විධි විධාන හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ ප්‍රකාශ කර ඇති ආකාරයට හැර සම්මත නොකළ යුත්තේ ය."
මෙය ඉතා පැහැදිලිය. මෙහි වගකීම ඇත්තේ කතානායකවරයාට ය.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණියගේ කණ කිස්කන ලිපිය..
එසේ නමුත් ඔන්ලයින් පනත සම්මත කර ගත් ආකාරයේ නීති විරෝධී භාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට මුලුමනින් ම පිටුපා ක්‍රියා කර ඇති ආකාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණියගේ අත්සනින් කතානායක ඇතුළු අදාළ පාර්ශව වෙත ලිඛිතව යවා ඇති ලිපියක මෙසේ සඳහන් වේ.
මානව හිමිකම් කොමිෂන් සභාව විසින් යවන ලද එම ලිපියෙන් විස්තර සහිතව ප්‍රධාන කරුණු 5ක් පෙන්වා දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිර්දේශවලට මුලුමනින්ම පිටුපා කූඨ උපක්‍රමිකව පනත සම්මත කර ගෙන ඇති ආකාරය එම කරුණු 5 තුළ අන්තර්ගත කර තිබේ.
ඔන්ලයින් පනත් කෙටුම්පතේ ඉදිරිපත් කරන ලද වගන්ති වෙනත් අංකයක් යටතේ සම්මත කර ගත් පනතේ ඒ ආකාරයෙන් ම ඇතුලත් කර තිබීම මෙසේ පෙන්වා දී තිබේ. කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී 17 වෙනි වගන්තිය මුලුමනින්ම සම්මත කළ පනතේදී 16 වෙනි වගන්තිය ලෙස ගෙන ඇත. එමෙන් ම කෙටුම්පතේ 21 වෙනි වගන්තිය සම්මත කළ පනතේ 19 වෙනි වගන්තිය ලෙස ද කෙටුම්පතේ 22 වෙනි වගන්තිය සම්මත කළ පනතේ 20 වෙනි වගන්තිය ලෙස ද කෙටුම්පතේ 31 වෙනි වගන්තිය සම්මත කළ පනතේ 27 වෙනි වගන්තිය ලෙස ද ආදී වශයෙන් පනතේ වගන්ති අංක වෙනස් කරමින් යොදා ගෙන ඇති බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.
ඊට අමතරව සම්මත කළ පනතේ 13 වෙනි වගන්තියේ සඳහන් වචන මුලුමනින්ම ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර තිබුණ ද එය නොසලකා ක්‍රියා කර ඇති ආකාරය මානව හිමිකම් කොමිෂන් සභාව යවන ලද ලිපියෙන් පෙන්වා දී ඇත. කතානායකවරයාට යවන ලද ලිපියේ පිටපත් මහජන ආරක්ෂක ඇමති, අධිකරණ ඇමති, අගමැති ඇතුළු පාර්ශව වෙත යොමු කර ඇත.
කතානායකවරයාට මුක්තියක් නැත..
මේ කූඨ සම්මත කිරීම දැන දැනම කතානායක වරයා එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සිය අත්සන යෙදීමෙන් ඔහු දැන දැනම අධිකරණයට අපහාස කර තිබෙන බව පැහැදිලිය.
අධිකරණයට ඉහළින් ක්‍රියා කිරීමට කතානායකවරයාට මුක්තියක් නැත. මුක්තිය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි. එයද ජනාධිපතිවරයාට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට යටත්වය.
මේ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වැරදිකරු වුවහොත් ඔහුට ද කෙහෙළිය රඹුක්වැල්ලට සේම මහ උළු ගෙදර තැපීමට සිදුවන්නේ ය.
මෙහි අවසාන ප්‍රශ්නය වන්නේ නීති විරෝධීව සම්මත කර ගත් නීතියක් නීත්‍යාණුකූල වන්නේ කෙසේද කියා ය.
-චන්ද්‍රප්‍රදීප්
https://www.lankaenews.com/category/54

No comments:
Post a Comment