වසරකට රු. බිලියන 300 ක් ගිලින, හොරකමටම පාර කපන ලංකාවේ ප්‍රසම්පාදන නීතිය වෙනස් කළ යුතු නැද්ද?
-ශාන්ත ජයරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.25, ප.ව.6.50) පසුගිය දිනෙක වෙරිටේ රිසර්ව් ආයතනය අපූරු පර්යේෂන වාර්තාවක් එළිදැක්වීය. එම වාර්තාව Backwards in Blacklisting:Gaps in Sri Lanka's Procurement Framework Enable Corruption ලෙස නම් කොට තිබුණි. https://www.veriteresearch.org/wp-content/uploads/2024/01/BackwardsinBlacklisting_ResearchBrief_Nov2023.pdf
මෙම වාර්තාවෙන් පෙන්නුම් කොට තිබෙන්නේ ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයේ (Public Procurement System) තිබෙන අඩු ලුහුඬුකම් නිසාම ප්‍රසම්පාදන දූෂණ කිරීමට ලබා දෙන අනුබලය සම්බන්ධවයි. රාජ්‍ය ප්‍රසම්පාදනය යනුවෙන් අදහස් කරන්නේ රජයේ ආයතන විසින් කඩ රාක්කයෙන් මිල දී ගන්නා ලියන කඩදාසියේ සිට මහාපරිමාන ගුවන් තොටුපළ ගොඩනැගීමේ ටෙන්ඩරය දක්වා වන්නාවූ සමස්ත ක්‍රියාවලිය යි.
වසරකට රු. බිලියන 300 ක් අහිමි වෙනවා..
මෙම වාර්තාවේ දක්වා ඇති අන්දමට ප්‍රසම්පාදන නීතියේ පවතින දුර්වලතා හේතුවෙන් ලංකාවේ රජයට වාර්ෂිකව අහිමි වන මුදල දල වශයෙන් රුපියල් බිලියන 300 කි. එය අස්වැසුම සඳහා වසරකට වෙන් කරන මුදල මෙන් දෙගුණයකි. කෘෂිකර්මාන්තය සඳහා 2024 අයවැය වෙන්කොට තිබෙන්නේ රුපියල් බිලියන 228කි. ප්‍රසම්පාදන හොරකම් නිසා රුපියල් බිලියන 300 ක් වසරකට අහිමි වන්නේ නම් වෙනත් දූෂණ පිළිබඳ කවර කතා ද? මේවා වලක්වා ගැනීමට රජය වහා මැදිහත් විය යුතු නොවේද? එවැන්නක් මෙම පාලකයන් ගෙන් බලාපොරොත්තු වීම හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වෙනුවට හොරාගෙන්ම පේන අහනවා වැනිය.
මිස්ටර් ටෙන් පසෙන්ට් කීවේ නිකන්ද?
රජයේ අයවැය ඇස්තමේන්තුවට අනුව සමස්ත වාර්ෂික වියදමෙන් දල වශයෙන් 25% ක්ම ප්‍රසම්පාදන වියදම් වේ. එය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත හොත් 5% කි. රජයේ ආයතනයක් මිල දී ගන්නා කුඩා ලියුම් කවරයේ සිට මහා පරිමාන අධිවේගී මාර්ගයක් සඳහා වූ ටෙන්ඩරය දක්වා කොන්ත්‍රාත්තු පිරිනැමීමේදී රජයේ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රමවේද පිළිපැදිය යුතුය. එහෙත් පවතින ක්‍රමවේද වල තිබෙන ආවේනික දුර්වලතා හේතුවෙන්ම මිලියන බිලියන ගණනින් ප්‍රසම්පාදන වංචා හා දූෂණ සිදුකිරීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩිය. මෙවැනි දූෂණ ඇති වන තත්ත්වයන් තුල ප්‍රසම්පාදනයේ තරඟකාරීත්වය අවම වේ. සංවිධානාත්මකව ටෙන්ඩර් කරුවන් විසින් කූඨ ලෙස අධික මිල ගණන් වල ලංසු ඉදිරිපත් කිරීමට මේ හරහා අවස්ථාව සලසා ගන්නා අතර එවැනි ටෙන්ඩර් පිළිගැනීමට හා ඉහළ මිල ගණන් වලට ටෙන්ඩර් පිරිනැමීමට සූදානම් යම් නිළධාරීන් කොටසක් ද සැදී පැහැදී සිටිති. ඒ පිටුපස අනිවාර්යයෙන්ම දේශපාලන හයි කාරයන් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගිය සමයේ යම් දේශපාලඥයන් හැඳින්වීමට ජාත්‍යන්තරය පවා Mr. 10% කීවේ නිකන් නොවේ.
මගඩි වැලක්...
උදාහරණයක් හැටියට පසුගිය වසරේ සිට මේ දක්වා ඉන්දියාවෙත් බිත්තර ගෙන ඒමේ කොන්‍ත්‍රාතුව (Tender ) පිරිනැමීම සඳහන් කළ හැක. අමාත්‍යවරයාගේ සෘජු මැදිහත් වීමෙන් ටෙන්ඩරය පිරිනැමීමත්, වෙළෙඳපොළ මිලට වඩා බිත්තරයකින් රුපියල් 10-12 අතර අයුතු ලාභයක් ගැනීමට අවස්ථාව සලසමින් ටෙන්ඩරය පිරිනැමීම තුල එම ගනුදෙනුවෙන් රජයට අහිමි වන මුදල සුළු පටු නොවේ.
ගෝටාභය රාජපක්ෂ රජය ඉන්දියාවෙන් නැනෝ දියර පොහොර ගෙන්වීමේ ටෙන්ඩරය තවත් එවැනි මගඩියකි. අදානි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරයත් එසේම ය. තරඟකාරීත්වයට ඉඩ නොතිබීම (Unsolicited Proposals ) සහ දේශපාලනඥයන් මෙම ගනුදෙනු පිටුපස සිටීමත් මෙම දූෂණ වලට ප්‍රධානම හේතුව බව රහසක් නොවේ. ප්‍රධානම ප්‍රශ්නය ප්‍රසිද්ධ මාධ්‍යයේ නොකැඳවූ ව්‍යාපෘති යෝජනා (Unsolicited Proposals ) හරහා විශාල ලෙස මෙම ප්‍රසම්පාදන දූෂණ සිදුවීම යි. ඒවා පාලනය කිරීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නවා පමණක් නොව රනිල් වික්‍රමසිංහ රජය Unsolicited Proposal දිරිමත් කරයි. රාජපක්ෂලා ඩොලර් බිලියන ගණනින් අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් වලින් හොරකම් කළේ මේවා හරහා ය.
බරපතළ නිර්දේශ 16 ක්..
මේ හා සමගාමීව ලංකාවේ දූෂණ හා වංචා පාලනය කිරීම සඳහා වඩාත් පුළුල් පරාසයක් ආවරණය කරන සවිස්තරාත්මක වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF ) නිර්දේශය මත ආසියාවේ ප්‍රථම වතාවට ලංකාවේ තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයක් පදනම් කරගෙන කළ විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළේ ය. Governance Diagnostic Assessment (GDA) නමින් පල කළ එම වාර්තාව ඉතා බරපතළ නිර්දේශ 16 ක් රජයට ඉදිරිපත් කොට ඇත. (පිටුව 15-16) https://www.imf.org/en/Publications/CR/Issues/2023/09/29/Sri-Lanka-Technical-Assistance-Report-Governance-Diagnostic-Assessment-539804 එහි පළමු නිර්දේශය මේ වන විටත් රජය උල්ලංඝනය කොට ඇත. අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් පත්කිරීම විනිවිද පෙනෙන ආකාරයට සිදු කිරීම සඳහා නිර්දේශ කොට තිබූනද එයට පිටින් යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ පත්කිරීම් සිදු කිරීම IMF සංවිධානයේ නියෝජිතයන් පසුගිය සමාලෝචනයේදි ප්‍රශ්න කොට තිබුණි. කෙසේ වෙතත් එහි කිසිදු වෙනසක් මේ වනතෙක් සිදු නොවීය. එම වාර්තාව සඳහන් කරන අන්දමට ලංකාවේ ආර්ථික පරිහානියට ප්‍රධාන හේතුවක් වන්නේ දූෂණය හා වංචාව බවයි. එහෙත් රනිල් වික්‍රමසිංහ රජය එම නිර්දේශ ක්‍රියාත්මක නොකරන බව සහතිකය.
මෙම දූෂිත දේශපාලන සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇති රටේ නීති රෙගුලාසි වෙනස් කළ යුතු නොවේද ? රුපියල් බිලියන ගණනින් රටට අහිමි වන්නේ සංවර්ධනය සඳහා තිබෙන බදු මුදල් ය. පාලකයන් ඒ මුදල් ඔවුන්ගේ ගජමිතුරන් අතර බෙදා දෙමින් රටේ ජනයා බදු බරින් හෙම්බත් කරමින් සිටී. එම නිසා මෙම ක්‍රමය වෙනස් කළ යුතු කාලය දැන් පැමිණ ඇත. දූෂිත දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කලබල වීම සාධාරණ ය. රටේ නීති ප්‍රතිසංස්කරණ සමාජ සවිබල ගැන්වීම තුල ඔවුන්ගේ දේශපාලනය අහවර වන බව ඔවුහු හොඳින්ම දනිති. ඔවුන් අයථා ලෙස උපයා ගත් වත්කම් ඔවුන්ට අනිවාර්යයෙන්ම අහිමි වන බව හොඳින්ම දනිති. මෙම රට ගොඩනැගිය හැකිය. අද අවශ්‍ය වන්නේ නව පුනරුද යුගයකි. ඒ සඳහා පෙළ ගැසෙමු.
-ශාන්ත ජයරත්න
shantha323@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102
No comments:
Post a Comment