Saturday, 10 February 2024

ඔන්ලයින් පනත නීති විරෝධීව සම්මත කළැයි වාර්තා කළ ජනමාධ්‍ය 'අම්මට සිරි' නීතියකින් දඬුකඳේ ගහන්න යනවා..! 

-සියළුම ජනමාධ්‍ය සංවිධාන එක හඬින් විරෝධය පාති

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.10, ප.ව.11.30) ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිර්දේශ වලට පයින් ගසා ඔන්ලයින් පනත නීති විරෝධීව සම්මත කරගත්තා මදිවාට ඒ ගැන වාර්තා කළ ජනමාධ්‍ය "නඩු ඇසීමේ සහ දඬුවම් නියම කිරීමේ නිශ්චිත පටිපාටියක් නොමැති" යල් පැන ගිය නීතියක් උපයෝගී කර ගනිමින් මර්දනය කිරීමට කතානායකවරයාද ඇතුළු ආණ්ඩුව දරණ උත්සාහයට දැඩි විරෝධය පා ශ්‍රී ලංකාවේ තිබෙන සියළුම ජනමාධ්‍ය සංවිධානවල එකතුවෙන් කතානායකවරයාට ලිපියක් යවා තිබේ. එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

2024 -02 -09
මහින්ද යාපා අබේවර්ධන මහත්මා,
ගරු කතානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

ගරු කතානායකතුමනි.,

මාධ්‍යවේදීන්ට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද නීතිය භාවිතා කරමින් ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කිරීමට දරණ උත්සාහය පිළිබඳවයි

පෙබරවාරි 08 වැනි දින පැවැති පාර්ලිමේන්තු රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ විසින් 2024 ජනවාරි 28 වැනිදා නිකුත් වූ ඉරිදා ලංකාදීප පුවත්පත උපුටා දක්වමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ එහි මුල් පුවත ලෙස සඳහන් "ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ඔන්ලයින් පනතේ නෑ. කතානායක අත්සන යෙදීමට පෙර පක්ෂ නායක රැස්වීමක් ඕනෑ. විපක්ෂයෙන් දැඩි ඉල්ලීමක්" යනුවෙන් පළකර ඇති පුවත නිසා පනතට පක්ෂව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරයෙකු වශයෙන් තමාගේ වරප්‍රසාද කඩ වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ලෙස ය. එම ඉල්ලීම ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා ද ප්‍රකාශ කෙළේ එය වරප්‍රසාද ප්‍රශ්නයක් වශයෙන් කමිටුවට ඉදිරිපත් කරන බව ය.

මෙම ලිපියට අත්සන් තබන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය සංවිධාන වශයෙන් අප සැවොම ජනමාධ්‍ය මර්දනය කිරීම සඳහා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද නීතිය යොදා ගැනීමට ආණ්ඩුව දරමින් තිබෙන පටු උත්සාහයන් පිළිබඳව දැඩි අවධානයකින් පසුවන අතර ජනමාධ්‍යවේදීන් බිය ගැන්වීම මගින් මහජනතාවට සත්‍යය දැන ගැනීමට ඇති අයිතිය අවහිර කිරීමට දරමින් සිටින සියළුම පටු උත්සාහයන් පිළිකුලින් යුතුව හෙළා දකිමු.

ලංකාදී පුවත්පත පළකර තිබූ පුවත අසත්‍ය තොරතුරු මත පදනම්ව ලියා ඇති ප්‍රවෘත්ති වාර්තාවක් නොවන අතර එම වාර්තාව මගින් උත්සාහ දරා තිබුණේ ඔන්ලයින් පනත හෙවත් මාර්ග ගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කර ගැනීමේ ක්‍රියාවලියේ දී සිදු වී ඇති බරපතල අඩු පාඩු රටේ පුරවැසියන්ගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට බව අප සැමගේ අදහසයි. එය ජනමාධ්‍යයට පැවැරෙන සමාජ වගකීම ඉටු කිරීමකි. පනත් කෙටුම්පතේ පැවැති දුර්වලතා නිසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනමාධ්‍ය, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ විපක්ෂය ආරම්භයේ දීම ගරු කතානායකවරයා වශයෙන් ඔබතුමන්ගෙන් ඉල්ලා සිටි අතර පනත විවාදයට ගැනීමට පෙරත්, එම ඉල්ලීම් නොසලකා එය විවාදයට ගැනීමට තීරණය කිරීමෙන් පසුවත්, අවස්ථා ගණනාවක දී ම විපක්ෂය ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් ඉල්ලා සිටි බව මේ වන විට රටම දන්නා සත්‍යයකි. එම ක්‍රියාවලිය සිදු වූ වැරදි සහගත ආකාරය පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ප්‍රමුඛ පෙළේ සංවිධාන කිහිපයක්ම මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සවිස්තරාත්මකව පෙන්වා දී තිබේ.

මෙම පනත සම්බන්ධයෙන් හෝ වෙනත් පනතක් සම්බන්ධයෙන් විපක්ෂය විසින් කරන ඉල්ලීමක් මාධ්‍ය මගින් වාර්තා කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක් වන්නේ කෙසේ ද? යන්න ප්‍රශ්නයකි. මෙහි දී ජනමාධ්‍ය උත්සාහ දරා ඇත්තේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් වාර්තා කරමින් එම ක්‍රියාවලිය නිවැරදි කිරීමට මිස කවර ආකාරයකින් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වලට බලපෑමක් කිරීමට නොවන බව අපගේ විශ්වාසයයි. එය ජනමාධ්‍යයට පැවරී ඇති කාර්යභාරයකි, සමාජ වගකීම ඉටු කිරීමකි. ඒ නිසා එම පුවත සම්බන්ධ කරුණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුව වෙත යොමු කිරීමට ඔබතුමා විසින් ගනු ලැබූ තීරණය අපේ විමතියට හේතු වී ඇති අතර "නඩු ඇසීමේ සහ දඬුවම් නියම කිරීමේ නිශ්චිත පටිපාටියක් නොමැති" යල් පැන ගිය නීතියක් උපයෝගී කර ගනිමින් ජනමාධ්‍ය මර්දනය කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය පිළිබඳව අප දැඩි විමසිල්ලෙන් යුතුව බලා සිටින බවද ඔබතුමන් වෙත දැනුම් දීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

මෙම තත්ත්වය ජනමාධ්‍යවේදීන්ට නිදහසේ වාර්තා කිරීමට ඇති අයිතියට බාධා කිරීමක් වන අතර එය මහජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය ද අවහිර කිරීමකි.

එම නිසා අප ඉතා ඕනෑකමින් යුතුව ගරු කතානායවරයා වශයෙන් ඔබ තුමන්ගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද වලට මුවා වී මාධ්‍ය මර්දනය කිරීමට ආණ්ඩුව දරමින් සිටින උත්සාහයට ඔබතුමාගේ දායකත්වය ලබා නොදෙන ලෙස ය.

මීට පෙරත් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුව හමුවට ජනමාධ්‍යවේදීන් කැඳවූ අවස්ථා මෙන්ම කැඳවීමට උත්සාහ ගත් අවස්ථා තිබූ අතර ඒ සෑම අවස්ථාවකම ඒ සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධය හා පිළිකුල පළකළ බවද, අප තවදුරටත් එම ස්ථාවරයේම සිටින බවද ඔබතුමන් වෙත වැඩිදුරටත් සිහිපත් කරමු.

ස්තූතියි,

මාධ්‍ය සංවිධාන එකතුව

දුමින්ද සම්පත්
සභාපති - ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

හනා ඊබ්‍රාහිම්
කැඳවුම්කරු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

එන්. එම්. අමීන්
සභාපති - ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය

ශ්‍රී ගජන්
සභාපති - දෙමළ මාධ්‍ය සංසදය

තරිඳු ජයවර්ධන
සභාපති - ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ලක්ෂ්මන් ගුණසේකර
සභාපති - දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංසදය

No comments:

Post a Comment