මැතිවරණ කොමිසම නටන්නේ රනිල්ගේ තනුවටද?
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.13, ප.ව. 4.45) තව දින හතරකින් ජනාධිපතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට බලය ලැබේ. පසුගිය මාසය පුරා රනිල් රාජපක්ෂගේ ගෝල බාලයෝ ජනාධිපතිවරණය කල් දමා ගැනීමට විවිධ අංචි ඇද්දාහ.
එහි ආරම්භක කසකරු වුයේ රනිල් රාජපක්ෂගේ පක්ෂයේ මහ ලේකම් වන පාලිත රංග බණ්ඩාරය. ඔහු කියා සිටියේ ජනාධිපතිවරණය දෙවසරකින් කල් දැමිය යුතු බවය. එම භූත කතාව උපන්ගෙයිම මියදුණ නමුත් එහි අවතාර තවම හොල්මන් කරයි.
එහි සැලැස්මේ අලුත්ම අංචිය වන්නේ, රනිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරන ලද 19 වන සංශෝධනයට සම්බන්ධ යෝජනාවයි.ො මෙම යෝජනාවේ අරමුණ ජනාධිපතිවරණය කල් දැමීම බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමෙන්තු මංත්‍රී එම්. සුමන්දිරන් පෙන්වා දුන්නේ මෙසේය.
“මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක දැන් පැහැදිලි වෙමින් තිබෙනවා. විශේෂයෙන් 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සලකා බලා අනුමැතිය ලබාදී ඇති බවට නිවේදනයක් ඊයේ අප දැක්කා. මේ තනිකරම රට තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට සහ ජනාධිපතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට සැලසුම් කළ ව්‍යායාමයක්”
මීට අමතරව ලේනව නම් නීතිඥයකු හරහා දම්මවන ලද කල්දැමීමේ මුට්ටිය අධිකරණ පා පහරින් සුනු විසුනු වූ වහාම නීතිඥ අරුණ ලක්සිරි උණවටුන නම් අයකු ජනාධිපතිවරණය කල් දමන සේ තවත් ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
එම ඉල්ලීම නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
මේ අතර රනිල් රාජපක්ෂ මහජන මුදලින් ජනාධිපති ව්‍යාපාරය කර ගෙන යන්නේ විලි ලැජ්ජාවක් නැතිවය. දෙසැම්බර් මාසය දක්වා කරගෙන යා යුතු වූ සංවර්ධන යෝජනා ක්‍රම ජූලි 31 දා වන විට අවසන් කරන ලෙස ඔහු නියෝගයක් නිකුත් කළේද ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙනය.
මෙම තත්වය යටතේ මැතිවරණ කොමිසම ද රනිල් රාජපක්ෂගේ තනුවට නැටිමට පටන් ගෙන තිබේ.
එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරණ නිල කටයුතු ආරම්භ කරන්නේ රනිල් රාජපක්ෂගේ වියදම් ලැයිස්තුව අවසන් වන ජූලි මාසයේ අගදී බව කියා තිබේ.
රනිල් රාජපක්ෂ කඳවුර පරාජයේ මුව විට සිටින බව දැන දැනම බලන්නේ දවසක් හෝ වැඩිපුර බලයේ සිටිමින් දූෂිත මහජන දේපල අවභාවිතය කරගෙන යැමටය.
දැන් මැතිවරණ කොමිසමේ සභාපති එම දූෂිත අවභාවිත කිරීම් සඳහා ජූලි මස අග වනතුරු කල් දෙන බව නොකියා ප්‍රකාශ කර තිබේ.
මේ ගැන මැතිවරණ නිරීක්ෂන සංවිධාන වල කටේ පිට්ටු හෝ ඇමෙරිකාවෙන් ලැබෙන ඩොලර් හිර වී තිබේදැයි කුකුසක් ඇතිවීම සාධාරණය.
විපක්ෂ මංත්‍රී පිරිසක් ලැබෙන මුල්ම දිනයෙහි ජනාධිපතිවරණය පවත් වන සේ මැතිවරණ කොමිසමට ලිපියක් යවා තිබේ. එසේ නමුත් පෙනෙන විදිහට කොමිසම රනිල් රාජපක්ෂගේ තනුවට නැටීම නතර කිරීමට සූදානමක් නැත.

No comments:
Post a Comment