Sunday, 21 July 2024

"අප්‍රකාශිත විදේශ මුදල්" ගැන හඳුන්නෙත්ති කියන්නේ මුසාවක් ද?

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.21, ප.ව. 10.00) හඳුන්නෙත්ති පොළොන්නරුවේ පැවති NPP බැංකු නිළධාරීන්ගේ සමුළුවකදී කියනව උපයාගත් ආකාරය අප්‍රකාශිත මුදල් රජයේ ව්‍යාපෘති අරමුදලක ආයෝජනය කරන්න අවස්ථාව දෙනවා කියලා.  ඒ කතාව අල්ලගෙන මේ දිනවල බුකිය කැළඹිලා. එජාප, සජබ, පොහොට්ටු, ශ්‍රී ලනිප ඇච්චො, බැච්චෝ හෝ ගාලා හෑලි ලියනවා. හැබැයි කවුරුවත් දන්නේ නැහැ හඳුන්නෙත්ති කියන්නේ රටේ පවතින නීතිය කියලා. මේකට කියන්නේ 2017 අංක 12 දරණ විදේශ විනිමය පනත. (https://www.dfe.lk/web/images/downloads/acts/fca_s.pdf)

මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ එජාපයේ එවකට මුදල් ඇමති රවී කරුණානායක. ඒ පනතේ 8 (3 වගන්තිය) මෙහෙම කියනවා.

උපුටා ගැණීම

"(3) වෙනත් ලිඛිත නීතියක විධිවිධාන වලට පටහැනිව කුමක් සඳහන් වුවද , නියමිත දිනයට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වරයා වෙත හෝ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙත ප්‍රකාශයට පත්කර නොමැති සහ 2006 අංක 5 දරණ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත, 2005 අංක 25 දරණ ත්‍රස්තවාදීන්ට මුදල් සැපැයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත හෝ (26 අධිකාරය වූ) අල්ලස් පනත යටතේ අධිකරණයකදී දැනට නඩු කටයුතු පවත්වා ගෙන යනු ලබන හෝ අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර ඇති දේපොළක් නොවන විදේශ විනිමය ශ්‍රී ලංකාව වෙත ප්‍රේශනය කරනු ලබන ශ්‍රී ලාංකික පුරවැසියකු, දේශීය ආදායම් කොමසාරිස් වෙත සියයට එකක ප්‍රේශන ගාස්තුවක් පමණක් ගෙවීමට යටත් විය යුතු අතර වෙනත් යම් ගාස්තුවක්, බද්දක්, අධිභාරයක්, අයකිරීමක් හෝ දඩයක් ගෙවීමට යටත් නොවිය යුතු ය."

උපුටා ගැනීම අවසන්.

හඳුන් කියන්නේ මෙන්න මේ වගන්තියේ තිබෙන හරය විය යුතුය. මෙහි සඳහන් වන අන්දමට පවතින නඩු කටයුත්තකට අදාල නොවන ශ්‍රී ලංකාවේ නේවාසික විදේශ මුදල් හිමියෙකුට කිසිදු විමසීමකින් තොරව 1% ක ගාස්තුවකට යටත්ව ලංකාවට විදේශ මුදල් ප්‍රේශනය කළ හැක. මෙම නීතිය අනුව සැලකිය යුතු මුදලක් 2015-19 යහපාලන රජය සමයේ ලැඹුණු බව එවකට ප්‍රකාශ විය. එහි සත්‍ය අසත්‍යතාවය අදාල බලධාරීන් තහවුරු කළ යුතුයි. මීට අමතරව මෙම පනතේ එම 8 (3) වගන්තියේ මෙසේද සඳහන් වේ.

උපුටා ගැණීම

"එසේ වුවද , වටිනාකම අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියනය නොඉක්මවන ශ්‍රී ලංකාවෙන් පිටත පවතින විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත ප්‍රේශනය කරන එවැනි යම් තැනැත්තකු ප්‍රේශන ගාස්තුව හෝ වෙනත් යම් බද්දක් , අධිභාරයක්, අයකිරීමක් හෝ දඩයක් ගෙවීමට යටත් නොවිය යුතු අතර එම වටිනාකම ඉක්මවා ප්‍රේශනය කරන ලද යම් විදේශ විනිමය ප්‍රමාණයක් (3) වන උපවගන්තියේ නිශ්චිතව දක්වා ඇති ප්‍රේශන ගාස්තුවක් ගෙවීමට යටත් විය යුතුය."

උපුටා ගැනීම අවසන්.

එසේ ප්‍රේශනය කරන මුදල එක්සත් ජනපද ඩොලර් මිලියනයක් ඉක්මවන්නේ නැත්නම් කිසිදු ගාතුවක්, දඩයක්, අධිභාරයක්, විමසීමක් සිදු නොකරණ බවද  පනතේ පැහැදිලිව කියයි. එසේනම්, හඳුන්නෙන්ති කියන්නේ බොරුවක්ද? මුසාවක්ද? නීතියට පටහැනි දෙයක් ද?

අඬන්නට සිටින මිනිසුන්ට ඇඟිල්ලෙන් ඇන ඔවුන් අඬන හැටි බලා හඳුන්නෙත්ති හිනා වෙනවාදෝ කියා සැකයක් මට ඇත. කෙසේ වෙතත් ඔහු මෙම පනත උපුටා දක්වා අදාළ  ප්‍රකාශය කළේ නම් වඩා වැදගත් වන්නට ඉඩ තිබුණි. එසේ වූවා නම් කුලී ලියන්නන්ට කීමට දෙයක් නැත. කෙසේ වෙතත්, නීතිය නොදන්නා ලංකාවේ සමහර අඳබාලයන් මෙසේ හැසිරීම සාමාන්‍ය දෙයකි. ඒවා පිළිබඳ කලබල නොවී  "කෙතරම් බල්ලන් බිරුවත්, ගැල ඉදිරියටම යන්නා සේ"  හඳුන්නෙත්තිලා දැන් කළ යුත්තේ ඔවුන්  දැනට වසරකට පෙර ඔවුන්ගේ මුල්ම තේමාව කරගත් "විසඳුම" සාක්ෂාත් කරගැණීම සඳහා අවසානය දක්වාම ගමන් කිරීම යි. රටේ ජනයා බලාපොරොත්තු වූ "සැබෑ විසඳුම"  ඔවුන්ට දිනා දීමයි.

-ශාන්ත ජයරත්න

ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)
shantha323@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment