Wednesday, 24 July 2024

කැබිනට් මණ්ඩලයේ තීන්දුව නීතියේ ආධිපත්‍යය අභියෝගය⁣ට ලක්කිරීමක්..!

-තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.25, පෙ.ව. 10.25) දේශබන්දු තෙන්නකෝන් හෙවත් ජුන්ඩාලේප බන්දු ගේ නීති විරෝධී පොලිස්පති පත්වීම වාරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරයේ රජ තුන් කට්ටුවක විනිසුරු මඩුල්ලක් ඊයේ දුන් තීන්දුවේ පවතින 'නීතිමය ගැටලු' ගැන අමාත්‍ය මණ්ඩල ප්‍රතිචාරය දැක්වීම ගැඹුරු ලෙස කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත් කිරීමට තීරණය කෙරුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

විධායකයේ වුව නීති විරෝධී, ක්‍රම විරෝධී තීන්දු අනන්තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඊට හොඳම උදාහරණ නම් ජනාධිපතිවරයා විසින් ක්‍රම විරෝධීව දුන් ජනාධිපති සමාවන් කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යලි රිවර්ස් කරමින් චුදිතයන්ට යලි දඬුවම් පමුණුවාලීම යි. එසේ තිබිය දී මේ කිසිදු ජනවරමක් නැති පොහොය දෙකේ ජනාධිපතිකාරයා රනිල් රාජපක්ෂ නීතියට උඩින් අත්තනෝමතික ඒකාධිපතියෙකු වීමට වලිකයි.

කැබිනට් මණ්ඩලයේ ඊයේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජුන්ඩාලේප බන්දුට එරෙහිව අධිකරණයට ගිය එක් සංවිධානයක් වන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හැරෙන තැපෑලෙන්ම නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.    

කැබිනට් මණ්ඩලයේ තීන්දුව  නීතියේ ආධිපත්‍ය අභියෝගය⁣ට ලක්කිරීමක්..!

දේශබන්දු⁣ තෙන්නකෝන් නම් පුද්ගලයා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබූ අතුරු නියෝගය ගැන අධ්‍යයනය කිරීමට දින දෙකක් ලබා ගන්නා බවට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්කිරීමක් ලෙස අපි සලකමු.

සමස්ත පොලිස් සේවයටවත් නොගැලපෙන පුද්ගලයකු ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස නාම යෝජනා කර ව්‍යවස්ථා සභාවට යොමු කිරීමත්, ව්‍යවස්ථා සභාව අනුමත නොකර තිබියදී කතානායකගේ නීති විරෝධී ලිපියක් මත ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස ඔහු පත් කිරීමත් අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විමසීමකින් පසු නිකුත් කළ අතුරු තහනම් නියෝගයට ගරු කරමින්  කටයුතු කරනවා වෙනුවට අමාත්‍ය මණ්ඩලය රැස්වී ඒ ගැන ආණ්ඩුවේ මතය ප්‍රකාශ කිරීමට දින දෙකක් ලබා ගැනීම සුළුකොට සැලකිය නොහැකි බරපතළ තත්ත්වයකි. මේ අවස්ථාවේ ආණ්ඩුවේ මතයක් අවශ්‍ය නොවන අතර ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ තනතුරට සුදුස්සකු වැඩ බැලීම සඳහා නම් කර ව්‍යවස්ථා සභාවට යැවීමයි.

එසේ නොකර අධිකරණ නියෝග හෑල්ලුවට ලක් කරමින් කටයුතු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමත්‍ය මණ්ඩලය කටයුතු කිරීම රටේ නීතියේ අධිපත්‍ය අභියෝගයට ලක් කිරීමක් පමණක් නොව, රටේ යහ පැවැත්මද අභියෝගයට⁣ ලක්කිරීමකි.

ජනාධිපතිවරයා නීතිඥවරයකු වන අතර අමාත්‍ය මණ්ඩලයේ ද නීතිඥවරු කිහිප දෙනෙක් සිටිති. එසේ සිටියදී මේ ආකාරයට අත්තනෝමතිකව කටයුතු කිරීම ඔවුන්ගේ නීතිඥ වෘත්තියට ද නොගැලපෙන ක්‍රියාවක් සේ අපි සලකමු.

එසේ හෙයින් තවදුරටත් රටේ නීතියේ ආධිපත්‍ය තර්ජනයට ලක් නොකර වහාම සුදුස්සකු වැඩ බලන පොලිස්පත්වරයකු ලෙස පත් කරන ලෙස අපි රජයට බල කර සිටිමු. එසේ නොකර තවදුරටත් අත්තනෝමතිකව කටයුතු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඊට එ⁣රෙහිව නීතියේ රාමුව තුල සිදු කළ හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පසුබට නොවන බවත් සඳහන් කරමු.

-තරිඳු ජයවර්ධන

සභාපති - තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

No comments:

Post a Comment