Wednesday, 24 July 2024

ආචාර්ය බාහු අභාවප්‍රාප්ත වේ..! ලංකා ඊ නිව්ස් ශෝකය පිළිගන්න..!

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.25, පෙ.ව. 9.30 - දෙවන සංස්කරණය ප.ව. 1.45) නව සම සමාජ පක්ෂයේ නායක මෙන්ම ලංකාවේ සිටි මාක්ස්වාදී න්‍යායාචාර්ය වරයෙකු වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කොළඹ ජාතික රෝහලේ දී අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට ඔහු 81 වැනි වියේ පසුවිය. 

1943 මාර්තු 08 දා ලුණුගල දී උපන් ඔහුගේ පියා මුදියන්සේ කරුණාරත්න සහ මව විමලා කොතලාවල දෙදෙනාම ගුරුවරු වූහ. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් විය. පසුව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් ව විදුලි ඉංජිනේරු විද්‍යාව හදාරා පළමු පෙළේ ගෞරව සාමාර්ථයක් ලබා ගත්තේ ය. ඉන්පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වලට ලැබෙන ශිෂ්‍යත්වයක් යටතේ කීර්තිමත් ලන්ඩන් කේම්බ්‍රිජ් සරසවියට ඇතුලත්ව චුම්බක විද්‍යාව හදාරා සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය. එම විෂයට ආචාර්ය උපාධියක් ලත් ලංකාවේ එකම තැනැත්තා ඔහු විය. පසුව ලංකාවට පැමිණි ආචාර්ය බාහු කොළඹ සරසවියට බැඳී එහි ආචාර්යවරයෙකු ලෙස සිය දැනුම ශ්‍රී ලංකාවේ දරුවන්ට බෙදා දුන්නේ ය. නමුත් ඔහුට එය වැඩි කාලයක් කරන්නට පාලකයෝ ඉඩ දුන්නේ නැත. ඔහුගේ වාමාංශික දේශපාලනය නිසා සරසවි බිම මේ විද්වතාට  තහනම් කෙරිණ. ඉන්පසු කිසිදා ඔහුුට සිය ඇකඩමික් දැනුම ලංකාවේ දරුවන්ට බෙදා දීමට නොහැකි විය. එය ඉමහත් පාඩුවකි.  

නමුත් ඔහු සිය වාමාංශික දේශපාලන දැනුම තරුණයන්ට ලබා දුන්නේ පක්ෂ දේශපාලනය හරහා ය. කොළඹ සරසවියේ ඉගෙනුම ගන්නා කාලයේ සිටම බාහු ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකුව ක්‍රියා කෙළේ ය. පසුව ඔහු එහි මධ්‍යම කාරක සභිකයෙකු විය. 1972 දී ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වී සන්ධාන ආණ්ඩුවක් හැදීම ගැන වික්‍රමබාහු න්‍යායාත්මකව එරෙහි වීම නිසා ලංකා සමසමාජ පක්ෂ නායකයෝ ඔහුව පක්ෂයෙන් නෙරපා හැරියහ. බාහුගේ ස්ථාවරය පිළිගත් බොහෝ සමසමාජ තරුණ නායකයෝ ඔහු සමග එක් වී නව සම සමාජ පක්ෂය පිහිටුවා ගත්හ. මුල් යුගයේ නව සම  සමාජ පක්ෂයේ නායකයන්ගෙන් අති බහුතරයක් ආචාර්ය උපාධි ලද්දෝ හෝ ඒ හා සමාන උගතුන් වූහ.

අචල මාක්ස්වාදියෙකු වූ ආචාර්ය වික්‍රමබාහු එතැන් පටන් ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පිටියේ විවිධාකාර සටන් මෙහෙයැවූයේ ය. ජයගත්තේ ය, පැරදුනේ ය, නමුත් ඔහුගේ න්‍යායාත්මක ස්ථාවරයන් වෙනස් කෙළේ නැත. ජාතිවාදී දේශපාලනය රජ කළ ශ්‍රී ලංකාවේ ඔහු කිසිදා ජාතිවාදියෙකු නොවීම ම ඔහුව අගය කිරීමට සෑහෙන්නේ ය.

ජන අරගලයේ නිර්මාතෘ..

ලංකාවේ ජන අරගලයකින් ජනාධිපතිවරයෙකු, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් පන්නා දැමුණි. මෙකී ජන අරගලය යන යෙදුමේ නිර්මාතෘ වරයා ආචාර්ය බාහු විය. නව සම සමාජ පක්ෂය පිහිටැවූ දා සිට ඔහු ජන අරගලය යන නම භාවිතා කළේ ය. මිය යෑමට ප්‍රථම සැබෑ ජන අරගලය දෑසින් දැකීමට හේ වාසනාවන්ත විය.  

අවසානයේ මේ අචල මාක්ස්වාදියා චංචල විය. ඒ ඔහු පසුගිය අවසන් පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ ඡන්දය ඉල්ලීමෙනි. එක්සත් ජාතික පක්ෂය අතුගෑවී ගිය එම මැතිවරණයෙන් ඔහු ද පරාජයට පත් විය. 

එදා ලංකා සම සමාජ පක්ෂය ශ්‍රීලනිපය සමග හවුලක් හැදීමට එරෙහි වූ ඔහු අවසානයේ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීම ප්‍රශ්නකාරී නමුත් මේ ලියුම්කරුගේ අදහස එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එදා යහපාලන ආණ්ඩුව ඔහුගේ අවසාන කාලයේ දී ඔහුට දැක්වූ අනුග්‍රහය නිසා එය සිදුවූ බවයි. එක්සත් ජාතික පක්ෂයේම ජේ.ආර්. යුගයේ දී සරසවි බිමෙන් පළවා හැරිය එකට වන්දි වශයෙන් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බාහුට රුපියල් ලක්ෂ 50 ක වන්දි මුදලක් ගෙවීය. ඔහු ඊට කෘතගුණ සැලකීමක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ලකුණ යටතේ ඡන්දය ඉල්ලුවා විය හැකිය. 

කෙසේ වෙතත් එය ආචාර්ය බාහුගේ වාමාංශික කීර්තියට හානි කෙළේ ය. පසුව රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා සමග එකතුව රනිල් රාජපක්ෂ ලෙස අනුවර්තනය වී ජනාධිපති ධූරයට පැමිණ කෙළිය පිස්සුව ගැන හැඟීමක් නොමැතිව ආචාර්ය බාහුට මිය යන්නට සිදුවීම ඔහුගේ වාසනාවකි. මන්ද යත් ආචාර්ය බාහු අවසන් කාලයේ සිටියේ ඩිමෙන්ෂියා රෝගයට ගොදුරුව ය. 

මේ අසහාය විද්වතාගෙන් ශ්‍රී ලංකාව වැඩක් ගත්තේ නැත. 

ඔහුගේ අවසන් කටයුතු ලබන 27 වැනි සෙනසුරාදා සවස කොළඹ කනත්තේ දී සිදු කිරීමට නියමිත ය. හෙට(26) උදෑසන 8 සිට කොළඹ රේමන්ඩ් මල් ශාලාවේ ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා තැබෙනු ඇත.

දශක ගණනාවක් ශ්‍රී ලංකාවේ වාමාංශික වේදිකාව සටන්බිම විචිත්‍රවත් කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ වියෝව ගැන ලංකා ඊ නිව්ස් ශෝක වෙමින් මේ අසම්පූර්ණ සටහන නිමා කරමු. ඔහුගේ පවුලේ අයට අප කර්තෘ මණ්ඩලයේ සහ පාඨකයන්ගේ ශෝකය පිළිගන්වන්නෙමු. 

ලංකා ඊ නිව්ස් කර්තෘ මණ්ඩලය

No comments:

Post a Comment