Saturday, 20 July 2024

අරගලයට දෙවසර පිරීමේදී සිහියට නැගෙන රනිල්ගේ පාවාදීම..!

-මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.20, ප.ව. 11.45) "ගඳ ගහන එකම සත්‍යය පාවාදීමයි" (Betrayal is the only truth that sticks) -ආතර් මිලර්

ශ්‍රී ලාංකික දේශපාලනයේ ඉහළම ජනතා පිබිදීම ඉතිහාසයට එකතු කොට ජුලි 9 ට වසර දෙකකි.  සුවහසක් බලාපොරොත්තුවලින් යුතුව ජනතාව එකාමෙන් එක් සිත්වී, එක් රොක්වී, මෝඩ සහ අහංකාර දේශපාලකයින් 2022 ජුලි මස බලයෙන් පැන්නුවද ජනතාවගේ දුක්ඛ දෝමනස්සය තුරන් කර හැරීමට අරගලකරුවන්ගේ ධීර ගුණයට නොහැකි වුයේ ඔවුන්ගේම වැරැද්දක් නිසාමත් නොව (වැරැද්දක් නොතිබුනාමත් නොවේ) ප්‍රභූ පාලක පංතියේ සුපුරුදු සටකපට කුමන්ත්‍රණ දේශපාලනය සක්‍රීය වූ  නිසාවෙනි. ජනතා  ඡන්දයකින් කිසිදා ජනාධිපති වීමට බැරිවූ  සහ එකම එක ආසනයක් පමණක් ජාතික ලැයිස්තුවෙන් හිමිව තිබූ රනිල් ට සිය ජනාධිපති සිහිනය බන්දේසියක තබා පිරිනැමූ විට ඔහු එය බාරගත්තේය. රනිල් පළමුව අගමැති ලෙස ද, දෙවනුව වැඩබලන ජනාධිපති ලෙස ද දිව්රුම් දී අවසානයේදී පොහොට්ටුවේ මන්ත්‍රීන් 134 දෙනාගේ චන්දය ද ලබා ජනාධිපති බෞතීස්ම යාතුකර්මය නිමාකළේය. එදා සිට අරගලයට දෙවසරක් පිරුණු අද දක්වා ඔහු ජනාධිපති ය.

මෙම ලිපිය අරගලයට වසර දෙකක් නිමවීම නිසාවෙන් ලියැවුණු එකක් වුවද, මෙය රනිල්ගේ දෙවසරක පාලන කාලයේ කාර්ය සංසිද්ධිය පිළිබඳව පසුවිපරමක් හෝ තක්සේරුවක් නොව, ජනතා අරගලයක ධනාත්මක නිමාව අතරමග නතර කළ අවස්ථාවාදී බලකාමියෙකු වූ රනිල් 2022 මැයි 12 දින සහ ජූලි 14 වෙනි දිනවල කරනු ලැබුවේ පාවාදීමක් බව පෙන්වාදෙමින් මෙම විකල්ප කියවීම ද අරගලය පිළිබඳව ලියැවී ඇති සාහිත්‍යයට එකතුකිරීමේ ද අරමුණනි.

පාවාදීම යනු..

පාවාදීම betrayel ලෙසත් පාවාදෙන්නා betrayer ලෙසත් ඉංග්‍රීසියෙන් හැදින්වේ.ඉංග්‍රීසි traitor සිංහලෙන් ද්‍රෝහියා වුවද එය 'පාවාදෙන්නා' ලෙසද අර්ථ දැක්වී ඇත. රටක් සහ ජාතියක් පාවාදෙන්නන් දේශද්‍රෝහීන් ලෙස සාමාන්‍යයෙන් විශ්වකෝෂයන්හී නිර්වචනය වේ. එසේම රටක ජාතියක නිවැරදි අනාගතයකට කැපෙන මාවතක් යමෙක් අහුරන්නේ නම් ඔහු හෝ ඇය ද රට සහ ජනතාව පාවාදෙන්නෙකි. එසේම පරිහානිත සහ අරාජක වූ රටක දේශපාලන සුසමාදර්ශ මාරුවක (political paradigm shift) විභවය මෙන්ම සහ එහි අතිශය තීරණාත්මක මොහොත යමෙකු පාවාදෙන්නේ නම් ඔහු හෝ ඇය ද රට සහ ජනතාව පාවාදෙන්නෙක් පමණක් නොව ජනතා සතුරෙකු ද වනු ඇත. "පාවාදීම" යන වචනය මෙම ලිපිය තුළ යෙදෙනුයේ මෙම අර්ථයෙනි.

ලෝක ඉතිහාසයේ සහ ලංකාවේ පාවාදුන්නෝ

ලෝක ඉතිහාසයේ ද්‍රෝහීන් හා පාවාදෙන්නන් අතර යුදාස්, බෘෘටස්, දෝන මරීනා සහ බෙනඩික්ට් ආනෝල්ඩ් කැපී පෙනේ. ශ්‍රී ලංකාවෙන්ද පාවාදෙන්නන් සහ ද්‍රෝහීන් දුසිමක් පමණ සොයාගත හැකිය. (ෂොනාලි වඩුගේ Traitors of Sri Lanka) සුබ නැමැති දොරටුපාලයා, දොන් ජුවන් ධර්මපාල, 1815 රාජසිංහව පාවාදුන් නිලමේලා, සමසමාජ පක්ෂ නායකයින්ගේ 1964 මහා පාවාදීම, මෛත්‍රීපාල සිරිසේන තම සමීපතම මිත්‍ර සහ නායක වූ ජනාධිපති මහින්ද සමග එකට ආප්ප සප්පායම් වී පසුදින මහින්දට බෘෘටස් වීම, මෑතදී පළමුව ශාන්ත බණ්ඩාර පසුව මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා හිටි අඩියේ තම පක්ෂ නායක මෛත්‍රීට ද්‍රෝහීව අරගලයේ සහ ජනතාවගේ සතුරා වූ ගෝඨාභයගේ දෑත් ශක්තිමත් කිරීමට එකතුවීම, ගෝඨාභයව සහ රාජපක්ෂ පවුල් පාලනය 'පට්ට' ගැසූ මණූෂ සහ හරීන් ස.ජ.බ සහ සජිත් ව හැරදා සතුරු නඩයට එකතුවී රනිල්-පොහොට්ටු කැබිනෙට්ටුවේ හිඳගැනීම. තම පක්ෂය නායකයා සහ එහි ප්‍රතිපත්ති පාවාදී වෙන පක්ෂවල සාමාජිකත්වය ගැනීම අපේ දේශපාලනය තුළ මේ මොහොතේත් සිදුවෙමින් පවතී. මේ සංදර්භය තුළ ඇමරිකානු නාට්‍ය රචක ආතර් මිලර් ගේ ඉහත ප්‍රකාශය සත්තකින්ම නිවැරදිය. එනම් "ගඳ ගහන එකම සත්‍යය පාවාදීමයි."

පාවාදෙන්නන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක්..

පාවාදෙන්නන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක් නම් ඔවුන් යමක් හෝ යමෙක් පාවාදෙනුයේ හිටි අඩියේ කව්රුවත් නොදන්නා තත්වයක් තුල සහ හීනෙකින් හෝ සිතිය නොහැකි හෝරාවකය. යුදාස් යේසුස් වහන්සේව පාලකයිනට අල්ලා දුන්නේද භෝජන සංග්‍රහයේ සිටි 13 දෙනාටම හොරෙනි.මෛත්‍රීපාල සිරිසේන මහින්දට පිහියෙන් අනින බව දැන සිටියේ කව්ද? ඊළඟට හිටිඅඩියේ මහින්දව අගමැති කරමින් මෛත්‍රීපාල රනිල්ට පිහියෙන් ඇන්නේත් හොර රහසේ යක්කු ගස් නගින සමයමක ය.

පාවාදෙන්නන්ගේ ලැයිස්තුවින් රටට වඩාත්ම අලාභය කළ රනිල්..

ශ්‍රී ලාංකික දේශපාලන අවස්ථාවාදීන්ගේ සහ පාවාදෙන්නන්ගේ ලැයිස්තුවින් රටට වඩාත්ම අලාභය කළ රනිල් මැයි 12 වෙනි දින අගමැති ලෙස දිව්රුම් දෙන බව දැනසිටියේ ඔහු සහ ඔහුව කුලියට ගත් ගෝඨාභය සහ රාජපක්ෂ පවුල පමණි. රනිල් මැයි 12 මේ පාවාදීම නොකළා නම් වෙනත් තත්වයක් උදාවී සමහර විට නව වසන්තයක අරුණෝදය අපට දකින්නට හැකිව තිබිණි. එය නැතිකළේ රනිල්ය. නව දේශපාලන ක්‍රමයක අරුණළු උදාවීම ඇණහිටවා නැවතත් සාම්ප්‍රදායික වයෝවෘද්ධ දේශපාලනය ප්‍රතිස්ථාපනය කළේ රනිල්ය.

සදාචාරයක් ගෑවුණු මිනිහෙකුට කළ හැකිද?

රට අගාධයට වැටීම ශීඝ්‍රවු 2019 සිට මැයි 12 වනතෙක් ගෝඨාභයගේ රජය ගැන කිසිම විචාරයක් නොකොට තමන්ගේ වැඩක් බලාගෙන අසංවේදීව සහ නිර්වින්දනීයව පාර්ලිමේන්තුවට ද නොපැමිණ රට වැටෙන්නට ඉඩදී කාලයක් නිසොල්මන්ව සිට මැයි 12 දින හිටි අඩියේ කාටත් හොරා රනිල් විසින් අගමැතිකම බාරගැනීම මොන තරම් කුහක අවස්ථාවාදී බලලෝභී වැඩක්ද? අනික් අතට පාර්ලිමේන්තුවටත් වැද්ද නොගත යුතු යැයි ජනතාව තීරණයකොට ගෙදර යැවූ අසාර්ථක පරාජිත මිනිසෙකු වසර එකහමාරකට පසු ජාතික ලැයිස්තු ආනුභාවයෙන් පාර්ලිමේන්තුවට රිංගා අගමැති තනතුරක් බාරගැනීමට තරම් පහත් මට්ටමකට වැටීමට සදාචාරයක් ගෑවුණු මිනිහෙකුට හැකිද? බල කෑදරයෙකුට නම් එය කළ හැකි බව ජර්මන් ජාතික දාර්ශනික ෆෙඩ්රිඩ් නීෂ ලියා තිබිණ. නීෂ නිවැරදි බව රනිල් ඔප්පු කළේය. රනිල් පසුව වැඩබලන ජනාධිපති ලෙසද දිව්රුම් දී පාවාදීමේ ඉතිරියක් ඇත්නම් එයද සම්පූර්ණ කළේය.

ගාලූ මුවදොර තරුණ අරගලයේ ජයග්‍රහණයක් ලෙස ජන පීඩක රාජපක්ෂ 'රෙජිමය' නන්නන්තාරව ගොස් ශ්‍රී ලාංකික දේශපාලනයේ ව්‍යුහාත්මක වෙනසකට මාවත සකස්වෙමින් තිබෙන වෙලාවක ඔහු අගමැති පදවිය බාරගැනීම හා පසුව ජනාධිපති පදවියද කෑදරව බාර ගැනීම ගාලු මුවදොර අරගලය ඒ වනවිට ලඟා වී සිටි කූටප්ප්‍රාප්ති ලක්ෂය මකා දැමුවේය. බාල්දු කළේය. අවප්‍රමාණය කළේය. අරගලකරුවන්ගේ ජයග්‍රාහී මානසිකත්වය ලත් තැනම ලොප් කළේය. මැයි 09 වෙනිදා මැර ප්‍රචණ්ඩත්වය මුදාහැර ගෝඨාභය රජයට කරගැනීමට බැරිවූ වැඩය ජනතාව කෝපව ගිනිතැබූ නිවාසවල රස්නය නිවෙන්නටත් පෙර සිය දේශපාලන ගන්ධබ්බාත්මයට (political astral body) ගුරුත්වාකර්ෂණයක් සැපයූ ගෝඨාභයට කළගුණ සැලකීමක් ලෙස අරගලය දියකර හැරීමට කළහැකි සියල්ල කළේය.අරගලය කුඩුපටටම් කළේය . 'ණයත් නැති බයත් නැති' විශේෂණ වලින් තමන්ව අද හඳුන්වාගත්ත ද එහෙත් 2022 දී බයටම රට හැර ගිය බැසිල් නැවත රටට පැමිණ සුපුරුදු මගඩි දේශපාලනය පටන් ගත්තේය. බංකරවල සැඟවී සිටි බලවත්තු නැවත කළ එළියට පැමිණියහ. අරගලය විසින් ධූරයෙන් පහකළ ඇමැති 'වීරයින්' නැවත වහසි බස් දෙඩීම ආරම්භ කළෝය. මේ සියල්ලම කිරීමට එළවා දමනු ලැබූ රාජපක්ෂ පවුලට ඉඩ ලැබුනේ, නොවේනම් රාජපක්ෂ පවුල මළවුන්ගෙන් උට්ඨාණනය වුයේ රනිල්ගේ පාවාදීම නිසාය.

රනිල් කළේ සමාව දිය නොහැකි ඓතිහාසික පාවාදීමකි..

රනිල්ගේ මැයි 12 භුමිකාව ද්‍රෝඑී බව පෙන්වීමට දාර්ශනික තර්ක කප්පරක් අවශ්‍ය නොවේ. වසර 74 ක තට්ටුමාරු පාලනයෙන් සහ විශේෂයෙන් ගෝඨාභයගේ අඳ බාල උද්දච්ඡ රජයෙන් බැට කා වෙහෙසට පත්ව සිටි ජනතාව පුලපුලා බලා සිටියේ පූර්ණ ගුණාත්මක සුසමාදර්ශ මාරුවක් ම නොව අවමවශයෙන් ඒ දිශාවටවත් හැරෙන සංකේත ජයග්‍රහණයකි. මැයි 12 වෙනිදා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කිවහොත් රනිල් කළේ සමාව දියනොහැකි ඓතිහාසික පාවාදීමකි. එය එසේ වනුයේ රාජපක්ෂ පිළිලය දේශපාලනයෙන් අතුගා දැමීමට සියල්ල සකස්වී තිබූ මොහොතක බල කෑදර රනිල් තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු දවා අළුකර දැමීම නිසාය. මැයි 09 දා ජනතා පීඩකයින්ගේ සියල්ල අළු වනවිට රනිල් ගාලු මුවදොර අරගලකරුවන්ගේ මුුල් සහ අවසාන ඉලක්කය වු 'ගෝඨාභය එළවීමේ' අරමුණ පරිපාකයකට පත්කරගැනීමේ බලාපෙරොත්තුව දවා අළු කළේය. රනිල් ගේ මෙම අවසථාවාදී චර්යාව මුළු රටට ම කරන ලද ද්‍රෝහී වැඩක් මිස වෙන කුමක්ද? උත්ප්‍රාසය නම් රනිල් 'අඩකොටයක්' වුනේ මහින්දලා ගෝඨාභයලා සහ අර්ජුන් මහේන්ද්‍රන් සමග එකතුව තමන් විසිනුත් කා හප කරපු අපේ රට ගොඩදැමීමට වීමය.

රනිල්ගේ පාවාදීමේ රූප දෙකක්..

රට ගොඩ ගියේ නැත.රට තව තවත් දියඹට ඇදින. බදු වැඩිකරමින් බදු පිට බදු පටවමින් රනිල් කළේ අයිඑම්එෆ් බැංකුවට රට බදුදීමය. නැතිනම් සින්නක්කරව විකිණීමය. එසේම රනිල් අයිඑම්එෆ් ඉල්ලීම මත ටෙලිකොම්, ඉන්ෂුවරන්ස් වැනි අපේ ආර්ථීකයේ ලාභ ලබන ආයතන විවෘත වෙන්දේසියේ විදේශික සමාගම් වලට විකිණීමට එකඟව ඒ සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටී. (මේ ලියන මොහොතේදී (ජුලි 12) කොළඔ හිල්ටන් හෝටලය විකුණාදැමිමේ අවසාන අදියරය නිමාකරමින් සිටි.) ඇරත් ඔහු අපේ ජාතික සම්පත් අපේ ව්‍යවසාකයින්ට නොව බදු දෙනුයේ හෝ විකුණනුයේ විදේශික සමාගම් වලටය. මේ අනුව රනිල්ගේ පාවාදීමේ රූප දෙකක් පැහැදිළිව දිස්වේ. 1 අරගලයට පිල්ලූවක් නැතිනම් තිරිංගයක් වෙමින් අරගලය පාවාදීම 2 රටේ සම්පත් විදේශිය සමාගම්වලට විකිණීමට එකඟවීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රෞඩත්වය පාවාදීම.

රනිල්ගේ පාවාදීම වඩාත් ගඳ ගසන්නේ ඇයි?

කෙසේවෙතත් රනිල් මේ පාවාදීම කළේ අරමුණු 3ක් ඉටු කරගැනීමේ බලාපොරොත්තුවෙනි.1) ජනාධිපතිධූර අහඹුව වහා ඩැහැගැනීම 2) ඒ සඳහා වූ පොරොන්දුව වන රාජපක්ෂලාව බේරාගැනීම ඒ අතරම 3) තමන්ට ඉදිරියට තර්ජනයක් වියහැකි ගාලු මුවදොර තරුණ අරගලය මර්දනයෙන්ම අවසානයක් කරා ගෙන ඒම. ගාලු මුවදොරට රාජපක්ෂ මැරයන් කරන ලද ම්ලේච්ජ ප්‍රහාරය රනිල් නොදුටුවා නොවේ. එයට කෝපවූ ජනතාව රට විනාශ කළ ආකාරය ද රනිල් නොදුටුවා නොවේ. මුළු රටම එක හඬින් 225 ම එපා කියු බවත් රනිල්ට නොඇහුනා නොවේ. මේ සියල්ලට මුහුණ දෙන්න අසමත්ව ගෝඨාභය බංකරයක හැංගිලා ඉන්න බවත් මහින්ද ඒ වන විට ආ ගිය අතක් නැති බවත් ඉතිරි රාජපක්ෂලා සහ පොහොට්ටුවේ 'හයිකාරයින්' බොහෝදෙනෙක් පාහේ අන්තරස්ධානව සිටි බවත්, ඒ සියල්ලම සිදුවුනේ ගාලු මුවදොර සාමකාමී තරුණ අරගලයේ ඵලයන් හැටියට බවත්, රනිල් සක්සුදක්සේ දැන සිටියේය. එසේම දේශපාලන ගගනතලයේ 'එහේ', 'මෙහේ', 'ඔහේ' පාවෙමින් ගන්ධබ්බාත්මයක සිටි තමන්ව මහජන ඡන්දයකින් තොරව ලංකාවේ පළමු පුරවැසියා කළේ අරගලකරුවන්ය යන්න හොඳින්ම දැනසිටියේ ද රනිල්මය. එහෙත් එය අමතක කිරීමට තරම් රනිල් ගුණමකු වුවා පමණක් ඔවුන්ට එළව එළවා පහරදෙමින් සහ ඔවුන්ගේ රාශිවීම් විසිරුවමින් තම මෘගත්වය ද ප්‍රදර්ශනය කළේය. වසර 74ක ශ්‍රී ලාංකික දේශපාලනයේ පළමුවතාවට සිදුවන මේ සියල්ල ප්‍රගතිශීලි පිබිදීමක් සහ සුසමාදර්ශ මාරුවක නිමිත්තක් බව දැන දැනත් රනිල් අගමැතිකම බාරගැනිමෙන් සියල්ල නැවත රාජපක්ෂලාට වාසිවන ආකාරයට හැරවූයේය. මේ පාවාදීම තරුණ අරගලකරුවන් විසින් ගෙදර යැවීමට ඉල්ලා සිටි (සහ ඇත්තටම ගෙදර යාමට හිතහදාගෙන සිටි) රාජපක්ෂලාට සේලයින් දී ඔවුන්ව නැවත කරළියට ගැනීමකි. අරගලය පාවාදීමකි. අරගලය තුළ සක්‍රීයව සිට කළ පාවාදීමක්ද නොව (ජුදාස් ඇතුළේ සිටියෙකි) රනිල් කළේ කවයෙන් පිට එළුවෘතාවධානයෙන් සිටිමින් කළ බහිස්ථර පාවාදීමකි. පාවාදීම තවත් ගඳ ගසනුයේ මේ නිසාය.

රනිල් ගැන ලියැවෙන පරිච්ඡේදයේ ශීර්ෂය..

කීනියාවෙි හිටපු ජනාධිපති කිබාකිගේ පාලන සමය (2001-2013) ගැන ජෝ කාම්ෂී Joe Khamsshi ලියු The Politics of Betrayal පොත ගැන සමාලෝචන විචාරයේ දී ජෝන් ගිබ්ස් ලියු දෙය එදා ගාලු මුවදොර අරගලයට ජීවය සැපයූ තරුණ තරුණියෝ අනාගතයේදී රනිල් ගැනද ලියනු ඇත. එනම් "කීනියාව නැවත ගොඩ නැගීමට සහ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කිබාකිට ලැබුණු මහඟු අවස්ථාව කිබාකි විනාශ කළේය". රනිල්ද මැයි 12 වෙනි දින ගෝඨාභය රජයට හේත්තු වී එයට මුක්කුවක් වීමෙන් ගාලුමුවදොර අරගලකරුවන්ගේ සහ ලක්ෂ ගණනක ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරගැනීමේ මහඟු ඓතිහාසික අවස්ථාව මාස කිහිපයක බල තණ්හාව පතා පාවාදෙනු ලැබීය. එමනිසා අනාගත පරම්පරාව විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ 21 සියවසේ මුල් කාර්තුව ගැන ලියැවෙන පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් ලියවෙනුයේ ගෝඨාභය ගැන සහ රනිල් අරගලයට ද්‍රෝහි වීම ගැන යැයි උපකල්පනය කළ හැකිය. රනිල් ගැන ලියැවෙන පරිච්ඡේදයේ ශීර්ෂය මෙසේ වනු ඇතැයි අනුමාන කළ හැකිය. "ශ්‍රී ලංකාව දේශපාලනිකව නැවත ගොඩනැගීමට උදාවුණු මහඟු ඓතිහාසික අවස්ථාව විනාශ කළ රනිල් වික්‍රමසිංහ" යන්න එම පරිච්ඡේදයේ ශීර්ෂය වනු නොඅනුමානය. 69 ලක්ෂයක ජනතා කැමැත්තෙන් ජනාධිපති වූ එමෙන්ම හමුදා නිළධාරියෙකු වූ සහ එසේම ජනපති ලෙස ත්‍රිවිධ හමුදාවේම ප්‍රධානියා වූ ගෝඨාභයට පවා අඩපණ කිරීමට නොහැකි වූ අරගලයේ ගමන සහමුළින්ම නැවත්වුයේ රනිල්ය. ඒ ඔහු කුමන්ත්‍රණකාරී ලෙස ගෝඨාභයට සහාය දීමට ඉදිරිපත්වීම නිසාය.

රනිල්ගේ මහා පාවාදීම වඩාත් බරපතල වනුයේ ඇයි?

රට ගැන සිතා නොව රාජපක්ෂලා නිදහස්කර ගැනීමේ චේතනාවෙන් අගමැතිකම බාරගනිමින් රනිල් ගත් ඒ අදේශපාලනික ජනතා විරෝධී අවස්ථාවාදී සාහසික තීරණයෙන් නැතිනම් කළ මහා පාවාදීමෙන් රනිල් වැළැක්වූයේ ගාලු මුවදොර තරුණ තරුණියන්ගේ සති ගණනක අරගලයෙන් පරිපාකයකට පත්වීමට ඔන්න මෙන්නව තිබූ ප්‍රගතිශීලි දේශපාලන සුරතාන්තයක පිටාර ගැලීමයි. නව හැරවුමක ආගමනයයි. ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ සුසමාදර්ශ මාරුවක සැළසුම් පිටපතයි. තරමක් කර්කශ සහ ග්‍රාම්‍ය වුවත් උචිත වෙනත් වචන කිහිපයකින් දැක්වුවහොත් "ඉතාමත්ම තීරණාත්මක මොහොතක රනිල් ගබ්සා කළේ ශ්‍රී ලාංකික දේශපාලනයේ නව සුසමාදර්ශයක කලල බීජයයි. රනිල් මකාදැමුවේ එවන් මාරුවක එවන් වෙනසක සංකේත ලාංචනයයි." පාවාදීම බරපතළ වෙනුයේ මේ නිසාය. පාවාදීම ගඳ ගසනුයේ මේ නිසාය. ආතර් මිලර් 'ඔබ නිවැරදියි'.

-ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි

හිටපු මහාචාර්ය, දර්ශන අංශය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

මහාචාර්ය තුමන්ගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/105

No comments:

Post a Comment