Tuesday, 12 November 2024

කෙහෙළියගේ හොර බේත් වලට අනුමැතිය දුන් රනිල් ඇතුළු කැබිනට්ටුවේ "පළපුරුදු" තක්කඩියන්ගෙන් ප්‍රශ්න කරන්නැයි අධිකරණය සීඅයිඩියට කියයි

(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.12, ප.ව.7.30) ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ වංචනික කැබිනට් පත්‍රකාවට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ඇමතිවරු 18 දෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (11) අවසර ලබා දී තිබේ.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මෙම කැබිනට් පත්‍රකාව ඉදිරිපත් කළ 2022 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට අමතරව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් වශයෙන් කටයුතු කළ හිටපු ඇමතිවරු වන වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල, ධීවර හා ජලජ සම්පත් ඇමති ඩග්ලස් දේවානන්ද, අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත්, ප්‍රවාහන හා මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන, කුෂිකර්ම සහ වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, සංචාරක ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති හරින් ප්‍රනාන්දු, සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ, නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග, බුද්ධ ශසන අමාගමික සහ සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක, විදුලි බල හා බළශක්ති ඇමති කාංචන විජේසේකර, පරිසර ඇමති නසීර් අහමඩ්, ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමති රොෂාන් රණසිංහ, මහජන ආරක්‍ෂක ඇමති ටිරාන් අලස්, වෙළඳ හා වාණිජ ඇමති නලීන් ප්‍රනාන්දු සහ කම්කරු සහ විදේශ රැකියා පිළිබඳ රාජ්‍ය ඇමති ජගත් පුෂ්පකුමාරගෙන් ප්‍රකාශ ගැනීමටද මහේස්ත්‍රාත් අවසර ලබා දී ඇත.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු එවන්නැයි කියන 'පළපුරුදු' අය මොවුන් ය.

මහේස්ත්‍රාත්වරිය එලෙස අවසර ලබා දී ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන “ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන “රිටොක්සිමැප්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කළැයි කියන සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම කළ ඉල්ලීමක් පිළිගනිමිනි.

බෙහෙත් හිඟයක් තිබුනාද? අවශ්‍ය බෙහෙත් මොනවාද? කිසිවක් සොයා නෑ...

හිටපු සෞඛ්‍ය ඇමති 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇතත් අවශ්‍ය ඖෂධ මොනවාද? යන්න පිළිබඳව හෝ එහි සඳහන් කර නොතිබියදී ඇත්ත වශයෙන්ම ඖෂධ හිඟයක් පැවතියේද? යන්න පිළිබඳව හෝ සොයා බැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය කැබිනට් පත්‍රිකාවට අවසරය දුන්නේ කෙසේද? යන්න පිළිබඳ එම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත යුතු යැයි එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම වැඩිදුරටත් මහේස්ත්‍රාත්ට දැනුම් දී ඇත.

මෙම අපරාධයේ සැකකරුවන් වශයෙන් බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තන් නම් කර සිටී.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන “හියුමන් ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල සහ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

-ස්තූතිය ලංකාටෲත්

No comments:

Post a Comment