Tuesday, 12 November 2024

ජනාධිපතිවරණ කාලයේ රාජපක්ෂ පවුල සිදුකළ ඉඩම් මගඩික් මෙන්න..!

-විශේෂ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.12, ප.ව.9.20) හම්බන්තොට, සූරියවැව, වල්සපුගල සහ ඒ අවට ප්‍රදේශවල මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් 2024 පසුගිය ජනාධිපතිවරණ කාල සීමාවේදී රාජපක්ෂ පවුලේ දේශපාලන බලපෑම මත පෞද්ගලික සෝලර් ව්‍යාපෘති සඳහා ලබා දී ඇති බව වාර්තා වේ. වාර්තා අනුව, මෙම ඉඩම් මිලියන ගණනක වටිනාකමක් ඇති නමුත් බදු වටිනාකමින් 4% පමණක් ලබා දී පැවරීමෙන් රජයට විශාල ආර්ථික පාඩුවක් සිදු කර ඇත   .

මේ ව්‍යාපෘතිවලට අදාලව ඉඩම් ලබා ලබා දීමේදී ශෂින්ද්‍ර රාජපක්ෂ හා  චමල් රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ තවත් බොහෝ දේශපාලන හිතවතුන් අති විශාල මුදලක් අත යටින් ගනුදෙනු කර ඇත. දැනට ඉඩම් වල වටිනාකමින් 4% මුදලක් අය කරගෙන වසර තිහක බදු පදනම මත  මෙම ඉඩම් මංකොල්ලය සිදු කර ඇති බව  වාර්තා වේ. ඉඩම් බදු පදනම මත ලබා දීමේ දී, මුදල් මිලියන 500ක් පමණ අත යට ගනුදෙනුවක් සිදුවී ඇති බවත් එම මුදල් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් අතර බෙදා ගෙන ඇති බවත් වාර්තා වේ.

මෙම කුමන්ත්‍රණය සිදු කිරීමට අනුබලය ලැබී ඇත්තේ ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපෘති කළමනාකරුගේ අධීක්ෂණය යටතේ බවද පැහැදිළියි. ඒ තුළින් මෙම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට කෘෂිකාර්මික බෝග වගා කළ හැකිව තිබු මෙම ඉඩම් පෞද්ගලික ව්‍යාපෘති සඳහා පරිත්‍යාග කිරීමට සැලසුම් කිරීම ජනතාවගේ දැඩි  විවේචනයට ලක්ව ඇත.

හම්බන්තොට ජනතාවගේ ආර්ථිකය සම්පුර්ණ වශයෙන් ගොඩ නැගී තිබුනේ කෘෂිකර්මය හා වනාන්තර පදනම් කරගනිමින්ය. විශාල ලෙස වනාන්තර අහිමි වීමත් සමග වන සතුන්ට වාසස්ථාන අහිමි වුවා පමණක් නොව මිනිසුන්ගේ ආර්ථිකය බරපතල ලෙස කඩා වැටුනු අතර බරපතල පෝෂණ ඌණතාවයන්ට හා දුප්පත්කමේ පතුලටම මේ ජනතාව ඇද වැටී ඇත.

වනාන්තරයෙන් ලැබූ ආර්ථිකය හා පෝෂණය අහිමිවීමත්, කාබන් ප්‍රමාණය ඉහළයාම නිසා උෂ්ණත්වය වැඩි වීමත්, උග්‍ර ජල හිඟයකට මුහුණ දීමත්, ඒ සියල්ල සමගින් අලි මිනිස් ගැටුමට ගොවි ජනතාව මුහුණ දීමත් යන සියල්ල එක් වී මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටින මොහොතක රාජපක්ෂ චෞර කණ්ඩායම විසින් සුරියවැව, වල්සපුගල ඉඩම් විශාල ප්‍රමාණයක් මෙලෙස තම හිතවතුන්ට රහසේ බෙදා දී ඇත. මේ සඳහා නීතිමය ආරක්ෂාව ලබා දීමට ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපෘති කළමනාකරු විසින් කටයුතු කර ඒ සඳහා අවසර ලබා දී ඇත්තේ ප්‍රදේශයේ ජනතාවගේ දැඩි විරෝධයට ලක් වූ පසුබිමක මත වුවත් ඔහුද තමන්ට ලැබෙන අත යට මුදල පිළිබඳ සලකා කටයුතු කර ඇත.

ව්‍යාපෘති නතර කර නිසි තක්සේරුවක් නැවත සිදු කළ යුතුයි

පළමුව රාජපක්ෂ කල්ලි වල මඩි තර කරගැනීමේ අරමුණින් ලබා දුන් ඉඩම්  සියල්ලම නැවත රජයට ගත යුතුව ඇත. මෙම ඉඩම් ලබා දීම සඳහා කවුරු බලපෑම් කළේ ද යන්න ගැන ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපෘති කළමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කළ යුතුව ඇත. එවිට මේ සඳහා බලපෑම් කළේ කවුරුන්ද යන්න සොයා ගත හැකිය.

එක් එක් කල්ලි කණ්ඩායම් වල තක්කඩි ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දී ඇති  සෝලර් පැනල් ව්‍යාපෘති නතර කර, ඉඩම්වල වටිනාකම ගැන නිසි තක්සේරුවක් සිදු කර ප්‍රජා ප්‍රයෝජන සඳහා යොමු කිරීම වඩාත් සුදුසු ක්‍රියාවක් වනු ඇත. මෙම ඉඩම් නැවත රජයට පවරා ගෙන වගා ව්‍යාපෘති, කෘෂිකාර්මික සංවර්ධන, සහ ප්‍රදේශයේ ජනතාවගේ සෘජු ප්‍රයෝජනය සඳහා යොදාගත යුතු බව විවිධ සමාජ ක්‍රියාකාරීන් හා විවේචකයින් විසින් පෙන්වා දෙයි.

මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දේශපාලන බලය සහ රාජපක්ෂ  පවුල් භූමිකාව මත පදනම්ව, රටේ සම්පත් විනාශ කරමින්  දේශපාලනික මගඩි සිදුකිරීමේ තවත් උදාහරණයක් ලෙස සැලකිය හැක. රාජපක්ෂ පවුලේ පසුගිය පාලන කාලසීමාව පුරා සිදු වූ මගඩි සහ දූෂණ මෙවන් ක්‍රියා මගින් පැහැදිලි වේ. විටෙක නාමල් රාජපක්ෂ පවසන්නේ "පුළුවන් නම් අපේ සල්ලි උගන්ඩාවෙන් ගේන්න"යනුවෙනි, එය පවසන්නේ  මහා උජාරුවට ය. එලෙස පවසන්නේ ඔවුන් හොරකම් කර ඇත්තේ සිස්ටම් එකකට නිසා ය. රටට සිස්ටම් නැති වුන ද රාජපක්ෂ හැතිකරය හොරකම් කළේ කාටවත් හසු නොවන සිස්ටම් එකකට ය. එවන් හොරකම් සොයා ගැනීම ඉතා අපහසු බව නාමල් ලා හොඳටම දනී. පාරම්බාන්නේ එනිසා ය.

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි

No comments:

Post a Comment