විභාගේ ගෙවීම් නොන්ඩි ගහයි..! ගුරුවරු කලකිරීමෙන්..!
-විශේෂ ලියුම්කරුවෙක් ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.10, ප.ව.10.25) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට අරක්ගෙන සිටි කමනී හෙට්ටිආරච්චි නම් වූ ප්‍රධාන මුදල් කොමසාරිස්වරිය අභ්‍යන්තර අරගලයක් මඟින් පන්නා දමා මේ වන විට වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් විභාග පරිපාලන කාර්ය මණ්ඩල හා පරීක්ෂකවරුන් සඳහා වන ගෙවීම් තාමත් තෙපරබාන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළ බව පසුගිය සතියේ ජාතික පුවත්පත් වාර්තා කර තිබුණේය. ඒ මදිවාට විභාග දෙපාර්තමේන්තුව විවිධ ආයතනවලට පිනට විභාග පවත්වා දී රුපියල් කෝටි පනහක් අහක දමා ඇති බව 2023 විගණන වාර්තාවේ සඳහන් බව ද පසුගියදා වාර්තා විය. මේ සම්බන්ධයෙන් ඊ නිවුස් විසින් කළ සොයා බැලීමේදී හෙළිවූ තොරතුරු මෙම ලිපියට පාදක වේ.
ගොනා වෙනස් කළාට කරත්තය පරණ පාරේ …
හිටපු ප්‍රධාන මුදල් කොමසාරිස් කමනී හෙට්ටිආරච්චි ස්ථාන මාරු කළාට ඇයගේ රූකඩ තවමත් මුදල් අංශයේ හොල්මන් කරන බව තතුදත් ආරංචි මාර්ග පෙන්වා දෙයි. කමනී සමඟ එක්වී විභාගේ අපායක් කළ භද්‍රා කාන්ති නම් වූ බහිරවිය තාමත් නියෝජ්‍ය මුදල් කොමසාරිස් පුටුවේ ලගිමින් සුපුරුදු හොරකමේ යෙදෙන්නේලු. ඇගේ පරණ හොර නෑම්බියන් නඩය සමඟ එක්වී විභාග පරිපාලන කාර්ය මණ්ඩලවලට හා පරීක්ෂකවරුන්ට ලැබෙන්න තිබෙන මුදල් ඔවුන්ට අමතක වන තුරු ප්‍රමාද කර කොටසක් යටිමඩි ගහන බව විභාගේ ප්‍රසිද්ධ රහසකි. උදාහරණයක් ලෙස අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ සඳහා වන මුදල් ගෙවා ඇත්තේ කෑලි ක්‍රමයටය. ඒ අනුව එක් පරීක්ෂකවරයෙකුට හිමි දීමනාව ගෙවා ඇත්තේ වාරික කිහිපයකටය. එහිදී එක වාරිකයක් හෝ දෙකක් හොරා කා ඇති අතර ගෙවීම් වාර ගණන වැඩිවීම නිසා මුදල් අංශයේ කාර්ය මණ්ඩලයට කෑලි ක්‍රමය යටතේ ලැබෙන දීමනා ද අතිකාල ද වැඩිවී ඇත. එක වැඩේ එකවර ඉටු නොකර කොටස් කිහිපයකට බෙදා ඉටු කර ඒ හැම කොටසකටම කොමිස් ගැනීම ජයටම කෙරෙන බව පැවසේ.
කෑලි ගානට මුදල් ගිලින පට්ට කපටි අලුත් මුදල් කොමසාරිස් …
වැඩ අවුල් වූ තරමට විගණන අංශ හොල්මන් කළ හැකි බව දන්නා ඕ.පී.ආර්. දමයන්ති නම් වන අලුත් ප්‍රධාන මුදල් කොමසාරිස්වරියගේ ආගමනය ‘කැහි ගෑනි දී හොටු ගෑනි ගත්තා වාගේ’ යැයි විභාගේ ඇත්තෝ කියති. මුදල් පාලනය හෝ පිරිස් පාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා ඇය මුදල් අංශයේ අවුල් ලිහනවාට වඩා බොරදියේ මාළු බෑම වාසිදායක නිසා දෝ නැතහොත් භද්‍රා කාන්තිව කේන්ති ගස්සන්නට බය නිසා දෝ කිසිත් නොකර හිනාවෙන් කල් ගෙවන බව තතු දන්නෝ කියති. ඇය නිවැරදිව කරන්නේ දුරකථනයට පිළිතුරු දීම හා කලට වේලාවට කෑලි ගානට කොමිස් ගැනීම පමණක් බව පවසන විභාගේ ඇත්තෝ වැඩ බැරි ඇයට හරි නම් ගෙවිය යුත්තේ කා.කා.ස. වැටුපක් බව පෙන්වා දෙති.
සනීපාරක්ෂක කම්කරුවන්ගේ සල්ලිත් පිල්ලි ගහලා …
ආයතනික විභාග අංශයෙන් සති අන්තයේ පවත්වන විභාග සඳහා ශාලා ගාස්තු ලෙස පාසල් සංවර්ධන සමිතිවලට හා සනීපාරක්ෂක කම්කරුවන්ට ගෙවිය යුතු මුදල් ද වසර ගණනාවක සිට පිල්ලි ගසා ඇති බව අනාවරණය වී තිබේ. එම මුදල් විදුහල්පතිවරුන් කොල්ලකා ඇතැයි පාසල් සංවර්ධන සමිති සැක කරන නමුත් ඇත්තටම සිදුවී ඇත්තේ ඒවා භද්‍රා කාන්ති හා දමයන්තිගේ කොමිස් සමාගමේ මකර කටවල්වලට වැටීම බව විදුහල්පතිවරුන් පෙන්වා දෙති.
විභාගේ හොරකම් මඩින්නට නම් …
විභාග දෙපාර්තමේන්තුව යනු විශාල මුදල් සම්භාරයක් පරිහරණය වන ආයතනයකි. එහි මුදල් අංශයේ වංචා වලක්වාගත නොහැකිවී ඇත්තේ විගණන අංශයේ තකතීරු නිලධාරීන් ඉස්තාලෙ වහන්නේ අශ්වයා පැන ගොස් හත් අවුරුද්දකට පසුව නිසාය. විභාගේ මුදල් අංශය ගොඩගන්න නම් පළමුවෙන්ම කළ යුත්තේ පණ ඇති විගණන නිලධාරීන් පිරිසක් පත්කර නිසි විගණනයක් කිරීමය. දෙවනුව හිටපු ප්‍රධාන මුදල් කොමසාරිස්වරියගේ හොල්මන් විභාගෙන් පළවා හැරීමට තොවිලයක් නටනවා වෙනුවට ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ආයතනවලට ස්ථාන මාරු කර යැවිය යුතුය. තෙවනුව කළ යුත්තේ වසරක් පුරාවටම තව තවත් හානවා හා තෙපරබානවා විනා වෙන කෙන්ගෙඩියක් නොකළ ට්‍රැක් පැනපු අලුත් ප්‍රධාන මුදල් කොමසාරිස්වරියට ඇගේ බැරිපොතත් අකුලාගෙන ගෙදර යන්න පාර පෙන්වීමය.
No comments:
Post a Comment